Wednesday, April 18, 2012

කටු කන බල්ලෝ.

කටු කන බල්ලෝ වඩාත් සැර බව අපේ පැරණි කියමනක් ඇත. හේතුව කුමක් වුවත් කතාව ඇත්තකි. බල්ලන් යයි හදුන්වන්නේ අප දන්නා කකුල් හතරේ මිතුරන් පමණක් නොවේ. කකුල් දෙකේ බල්ලන්ද මීට ඇතුලත් කල යුතුය. කකුල් හතරේ බල්ලන්ගෙන් නම් එතරම් කරදරයක් නොමැත. උන් කරන්නේ සපාකෑම පමණක්ම බැවිනි. හොද පොල්ලක් අතට ගත්විට කකුල් හතරේ බල්ලන් සරෙන්ඩර්ය. ඕනෑ නම් නහයට හෝ පශ්චාත් ප්‍රදේශයට දෙනලද සුළු ප්‍රහාරයකින් මෙල්ල කල හැකිය. එහෙත් කකුල් දෙකේ බල්ලන් එසේ නොවේ. උන් මෙල්ල කිරීම ලෙහෙසි පහසු නැත. තම ස්වාමියාගේ බලය අතට රැගෙන පැමිණෙන මොවුන්, සපාකෑම පමණක් නොව මාරාන්තික අනතුරු පවා සිදුකරයි. රාජ්‍ය සේවයේ වසර කිහිපයක් සේවය කිරීමේදී මෙම බල්ලන්ගෙන් ඇතිවන කරදර පිලිබද හොද අවබෝධයක් ලබාගත හැකිය.

කටු කන බල්ලන් ස්ථාන අනුව කොටස් දෙකකට බෙදිය හැකිය. එක් කොට්ඨාසයක් කාර්යාල තුල සිටිමින් ආයතන ප්‍රධානීන්ගේ බලය සියතට ගෙන තමන්ට වඩා උසස් නිලධාරීන්ට පවා නියෝග ලබාදෙන මට්ටමට පත්වූවන්ය. "මේක බොස්ගෙ ඕඩර් එකක්, කොහොම හරි කෙරෙන්න ඕන" ආදී වශයෙන් දෙනු ලබන නියෝග පිලිබදව සමහර විට ප්‍රධානියා නොදන්නවා වන්නටද පුළුවන්ය. එහෙත් තම කාර්ය ඉටු නොවුවහොත් කේලාම් ආදිය කියා ප්‍රධානියා අමනාප කිරීමට මොවුන් සමත්ය. මොවුන්ගේ සපාකෑමට ලක්වන අනිත් කොට්ඨාසය වන්නේ යම් යම් අවශ්‍යතාවන් ඉටුකරගැනීම සදහා කාර්යාලවලට පැමිණෙන අහිංසක මිණිසුන්ය.

කටු කන බල්ලන්ගේ දෙවැනි කොට්ඨාසය වන්නේ පිටතින් පැමිණෙන බල්ලන්ය. රටේ පළමු පුරවැසියාගෙන් පටන්ගෙන ප්‍රාදේශීය දේශපාලකයා දක්වා වන, තම ස්වාමීවරුන්ගේ ආගීර්වාද ලත් බල්ලන් වන මොවුන් අතිශයින්ම භයානකය, එමෙන්ම අතිශයින්ම මෝඩය, අතිශයින්ම බලවන්තය. මට හමුවූ බල්ලන් අතුරින් මේ එක් අයෙකි.

එදින මා සිටියේ වාහන බලපත්‍ර අංශයේ රාජකාරී කරමින්ය. සුදු පැහැති ජිප් රථයකින් බල්ලා පැමිණි අතර ඔහුගේ අවශ්‍යතාවය වූයේ ආදායම් බලපත්‍රයක් ලබාගැනීමයි. එහෙත් ඊට අවශ්‍ය කරන ලියකියවිලි ඔහු අත නොතිබූ බැවින්, අදාල කාර්ය ඉටුකරදිය නොහැකි බව මා පැවසුවෙමි. ඔහුගේ පළමු ප්‍රශ්නය වූයේ "මම කවුද කියල දන්නවද?" යන්නය. ඔහුගේ තත්වය කුමක් වුවත් එය රාජකාරියට අදාල නොවන බව මා පැවසූ පසු (ඇත්තටම ඔහු කවුදැයි මා දැන සිටියේ නැත) අදාල කාර්ය ඉටුකරවාගත්තේ මාගේ ආයතන ප්‍රධානියාට පමණක් නොව අපගේ දෙපාර්තමේන්තු ප්‍රධානියාටත් කතාකර නියෝග කරවීමෙනි. ප්‍රධාන පුරවැසියෙකුගේ ශරීර ආරක්ෂක බල්ලෙකු වන ඔහුගේ සිවිල් බලය එසේය.

මෙවැනි බල්ලන් බැද දැමීමෙන් තොරව යහපත් රාජ්‍ය සේවයක් අපේක්ෂා කිරීම විහිළුවකි. දාහත්වන සංශෝධනයෙන් බලගන්වන ලද ස්වාධීන කොමිෂන් සභා වැනි දේ හෝ තිබුනේ නම් රජයේ සේවකයාට කොන්ද කෙලින් තබාගෙන සේවය කලහැකිව තිබුනි. දැන් සිදුව ඇත්තේ බල්ලන්ට යටත්වී සේවය කිරීමටය. සටහන අවසන් කිරීමට මත්තෙන් පසුගිය පළාත් පාලන මැතිවර‍ණයේදී ලැබූ මෙවන් "බලු පැටියෙකු" පිලිබද අත්දැකීමක් සදහන් කරමි. තමා කවුද, තමාගේ බලය කුමක්ද යන්න නොදැන චන්ඩි පාට් දමන බල්ලන්ගේ මානසිකත්වය මෙයින් තේරුම්ගත හැකිය.

එදින මා සිටියේ ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පැමිණෙන පෝලිමේ පලමු ස්ථානයේය. මගේ රාජකාරිය වූයේ අනන්‍යතාවය තහවුරු කරගැනීමයි. බල්ලා පැමිණ යම් හැදුනුම්පතක් ඉදිරිපත් කල අතර අපේ සංවාදය මෙසේය.

මම: මහත්තයා, ඡන්දෙ දාන්න ඕන කරන අයිඩෙන්ටි කාඩ් වර්ග 8ක් තියනව, අර බෝඩ් එකෙත් දාල තියෙන්නෙ! මේකට නං දාන්න බෑ.
බල්ලා: ඇයි මේකට දාන්න බැරි? මේක ඕන තැනකින් පිලිගන්නව, රටම පාලනේ කරන්නෙ මෙතනින්.
මම: ඒක වෙන්නැති, ඒත් මෙතෙන්ට ඕන වෙන්නෙ මම කියපු අයිඩී කාඩ් වර්ග අට විතරයි. ඕකට නං දාන්න බෑ. අන්න ඉන්නව එස්පීඕ මහත්තය එයත් එක්ක කතාකරල බලන්න ඕන නං.

මා බල්ලා එස්පීඕ මහත්තයාට (ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති) භාරකලේ එලෙසිනි. බේරාගැනීමට නොහැකිවූ ගැටළු තමා වෙත යොමුකරන ලෙස ඔහු පළමුව උපදෙස්දී තිබිණි.

බල්ලා: මේකට ඡන්දෙ දාන්න බැරිද?
එස්පීඕ මහත්තය: මේකට නං දාන්න බෑ.... අර ඉස්සරහ ගහල තියනව ඡන්දෙට ඕන කරන හැදුනුම්පත් වර්ග ටික. එයින් එකක් ගේන්න වෙනව.
බල්ලා: මේක ඕන තැනකින් පිලිගන්නව, රටම පාලනේ කරන්නෙ මෙතනින්.
එස්පීඕ මහත්තය(තරමක් තදින්): මට ඔයාට පෙන්නන්න පුළුවන් ඔයිට වඩා ලොකු අයිඩී එකක් මගේ ලග තියනව, කරුණාකරල යන්න. ඔයා රජයේ සේවකයෙක්නේ. අපි වැඩ කරන්නෙ අපිට උපදෙස් දීල තියන විදියට.

බල්ලා පිටවී යනු ඇතැයි බලාසිටියත් ඔහු නැවත පැමිණියේ මා‍වෙතය. සාක්කුවෙන් ගත් පසුම්බි‍ය විවෘත කලවිට ජාතික හැදුනුම්පත පමණක් නොව රියදුරු බලපත්‍රයද ඔහු ලග තිබුනි. ඉන් එකක් පාවිච්චි කර ඡන්දය සලකුණු කර පිටවී යන විටද ඔහු මුමුණමින් සිටියේ "මේක ඕන තැනකින් පිලිගන්නව, රටම පාලනේ කරන්නෙ මෙතනින්" යනුවෙන්ය.

ඔහුගේ ප්‍රථික්ෂේප වූ හැදුනුම්පත ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත්කරන ලද්දක් වූ අතර එහි තනතුර යන්නට ඉදිරියෙන් "රියදුරු" යන්න සටහන් වී තිබුනි.

64 comments:

  1. කටුකන බල්ලෝ කොහෙත් ඔය විදියෙම තමයි..බොහොම වෙලාවට ප්‍රධානීන් හරි නිහතමානී සහ පොලවේ පයගසා සිටින උදවිය උනත් ඔවුන්ගේ කටුකන බල්ලන් නම් බොහොම සැරපරුෂ සහ මීහරක් ලෙසින් කටයුතු කරන බව රටපුරාම එසේමයි

    ReplyDelete
    Replies
    1. දේශපාලකයො සහ ලග ඉන්න බල්ලන් දෙගොල්ලම එකයි. ගන්න දෙයක් නෑ. රාජ්‍යසේවයේ ඉන්න අය නං ඔයා කිව්ව විදියෙ අය තමයි.

      Delete
  2. කරුණාකරල ඔය බලු පැටියා ඡන්දෙ දාන්න ආවේ මොන ඡන්දපොළටද කියලා කියන්න පුළුවන්ද? එතකොට ඒකා කව්ද කියලා අනුමාන කරගන්න පුළුවන් වෙයි. ඔය තනතුර සහිත හැදුනුම්පත තියෙන ගොඩාක් දෙනෙක්ගෙ සාමාන්‍ය චර්යාවක් තමයි මොනවාහරි බලු වැඩක් කරලා ඒ මදිවට අයිඩී එක පෙන්නලා තව උඩු බුරලාත් යන එක.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඊයක් එවන්න ඇඩ්රස් එක දෙන්න.

      Delete
  3. දැන් දැන් ලංකාව යන විදිය දැක්කාම අපේ කොන්ද ගැන මට නම් ප්‍රශ්නයක් නිකන්ම එනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්. කොදුනාරටි කඩල තියෙන්නෙ බං.

      Delete
    2. දැන් ඒ කියන්නේ රාජුත් ඒ ගොඩටම වැටුනා කියන එකද??



      කවුරු හරි නිකමට වත් ඇහුවොත්..,
      "මම කවුද කියල දන්නවද?" කියලා,

      එතනින් එහාට රාජ් ඕනෙම වැඩක් කරයි වගේ ඉස්සරහට..:)

      කණා මැදිරි එළියටත් බයයිළු ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා...

      Delete
    3. පලමු සිද්ධියේ මුලු කතන්දරයම මෙතන දාල නෑ. පුද්ගලයා හදුනාගත් පසු උනත් මම නීති විරෝධී කටයුත්ත කලේ නෑ. හැබැයි මගේ ලොක්ක ඕඩර් 1ක් දුන්නොත් කරන්න වෙනවනේ. ඒවගේ අවුලක් නං තියනව.

      Delete
  4. ඔහොම තමයි සෑර් අමාත්‍යාංශේ ඉන්න ලොක්කොත් නාටු බල්ලොනේ, සිංහ වෙස් ගත් සිඟාලයොත් ඉන්නව නෙව.

    ReplyDelete
    Replies
    1. //අමාත්‍යාංශේ ඉන්න ලොක්කොත් නාටු බල්ලොනේ// :-)

      Delete
  5. ෆ්‍රෙඩී සිලාවා ගැයූ බල්ලා සින්දුව සිහිවිය.

    බල්ලෝ මේ කතා දන්නවා නං තම වර්ගයා ස්වයං සමූලා ඝාතනයකට ලක් කර ගන්නවා නියතයි.

    ReplyDelete
    Replies
    1. "ස්වයං සමූලා ඝාතනයකට ලක් කර ගන්නවා"
      එහෙම වෙන්නත් බැරි නෑ උං බ්ලොග් කියෙව්වනං. :-)

      Delete
  6. බල්ලා කියන සතාට අපහාසයක් මුන්ට බල්ලො කියන එක

    ප.ලි- සුස්ති ගුණේ ට ලංකාවේ ඉඳල ඇති වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්. සූස්ති මේ ටිකේම "රාජ්‍ය විරෝධී" කතා තමයි කිව්වෙ.

      Delete
    2. අනේ සෑර්ලා කලබොල වෙන්ඩ එපා.. සුදු වෑන් කටු වල යන්ඩ මට බැහැ.. ඒත් ඉතිං මේ පිං බිම දාල කොහෙ යන්ටද??

      Delete
  7. හැබයි සෑර්, මෙතන අපි කවුරුවත් වැඩිය ගනන් නොගන්න භයානක ඇත්තකුත් ඒ බල්ලා කියල තියෙනව. ඌ ඒක කියල තියෙන්නෙ උගේ නොදන්න කමටවත්, උද්දච්ච කමටවත් නෙවෙයි. ඒක තමයි ඇත්ත.

    "...මුලු රටම පාලනය වෙන්නෙ මෙතනින්"..

    මරු නේද? ආංඩු ඕනේ නැහැ, එක අමාත්‍යාංශෙකින් මුලු රටක පාලනය වෙනවා. අද හෙටම හමුදා කිට එක ගහල ලොක්ක ජාතිය ඇමතුවොත් පුදුම වෙන්ඩ එපා..

    ReplyDelete
    Replies
    1. ඔවුනේ! සූස්ති කියනකල් මට ඔයවගක් මතක්වුනේ නෑ. රට(ට)ම කරන්නෙ-කරන්‍වන්නෙ ඔතනිං තමා.

      Delete
    2. මමත් දැකල තියනව ඕක. ටෙලියක කෑල්ලක්ද කකා?

      Delete
  8. "...මුලු රටම පාලනය වෙන්නෙ මෙතනින්".

    වැඩි කාලයක් නොගොස් මේ කියමන නම් ඇත්තවෙන බවට මෙන්න කැට.

    ReplyDelete
    Replies
    1. "වැඩි කාලයක් නොගොස්"
      අන්න සූස්ති කියන්නෙ දැනටමත්....

      Delete
  9. කටු කන බල්ලෙක් සපා කෑවොත් රෝගියා භෞතිකව මිය නොගියත් ආත්මීයව මියයනු නියතයි.
    ඔවැනි බල්ලන් සම්බන්දයෙන් අපිනම් එක්තරා කාලයක...සුදුසුම ක්‍රියාමාර්ග ගත් නමුත්... (ඉතිරිය උඹ ගැන සිතා නොලියමි)

    ReplyDelete
    Replies
    1. මම නොදන්නවයැ. නරක වගේම බොහොම හොද දේවල් ඒ අතර තිබුන.

      Delete
  10. පෞද්ගලික අංශයේ කියලා වෙනසක් නෑ. එකම වෙනස. කලින් දන්වලා එන්නේ. එනකොට දන්නවා කවුද පොර කියලා. මගේ අඳුරන් ඒවුන් තැන් තැන් වල උන්නට, පෝලිමේ ගිහින් කරගන්නේ ඕන දෙයක්. අර පැනලා යන වැඩේ කරන්න ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. උන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැතිකොට මොනව කරන්න බැරිද.

      Delete
  11. ඕක රාජ්‍යද පෞද්ගලිකද කියල නෑ... කොහෙත් එකයි... හපාකන බල්ල කොහෙදිත් හපාකනව... උන්ට ගහල එලවන්න පුළුවන් නම් ගහල එලවපන්... නැත්තන් උන්ට ගහන්න ක්‍රමයක් හොයාගනින්... එහෙම නැතුව ඔහොම හපන එක වැරදී කියන එක බල්ලට කියල තේරුම් කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අංශයේ තැනක් උනත් බල්ල බල්ලමයි. හැබැයි ඒ තැන්වලට බලපෑම් කලහැකි ප්‍රමාණය අඩුයි නේද?

      Delete
    2. බලපෑම් කලහැකි ප්‍රමාණය අඩුයි?.. එකම වෙනස බලපෑම් කරන්න එන පිරිස වෙනස්වීම විතරයි... හැබැයි ඕන තරම් බල්ලො ඉන්නව...

      Delete
  12. ඕකුන්ගෙ ____________ පවර් අපිට දාන්න හදන්නෙ. සත පහකට ගනන් ගන්න හොද නෑ ඔවුන්ව සිරාවට.. :/

    ReplyDelete
    Replies
    1. ගනං නොගෙන ඉන්නත් බෑනෙ බං. අපේ ලොක්කොත් උන්ට යටයිනේ.

      Delete
  13. ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට කොන්ද නවන ඔ.අයි.සී කෙනෙක් ගැන අහල තියෙනවද? ඒ අපේ සුන්දර රටේම ඉන්න කෙනෙක්.එහෙවු ගොන් හැත්තක් ඉන්නේ.මේ වගේ කොන්ද නැති ලොක්කෝ ඉද්දි පොඩි මිනිස්සුන්ට කවර කතා ද?

    ReplyDelete
    Replies
    1. ඒවගේ එවුන් ඕනතරම් ඉන්නව බං.

      Delete
  14. හැමතැනම බල්ලෝ ඉන්නවා බන්,කිසිම තැනක මේ වගේ බල්ලෝ නැති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.පොලිසියකට ගියත් එකයි තව තැනකට ගියත් එකයි.

    බල්ලොත් එක්ක බැහැ කියලා කතාවකුත් තියෙන්නේ,

    ReplyDelete
    Replies
    1. අන්න හරි, බල්ලොත් එක්ක බැහැ කියන්නෙ ඒක වෙන්නැති.

      Delete
  15. උඹලා කශ්ටියම මිනිසාගේ හොඳම මිතුරා වන බල්ලාට අපහාස වන අයුරින් පෝස්ට් හා කමෙන්ට් දැමීම ගැන මගේ බලවත් විරෝධය. ඔය කියන ගති ලක්ෂන බල්ලන් ලඟ නොමැති නිසා වෙනත් ගැලපෙන සතෙක් යොදා ගන්නේ නම් මැනවි.

    henryblogwalker the Dude.

    ReplyDelete
    Replies
    1. සොරි සොරි බල්ලට අපහාස කලාට. හැබැයි දාන්න හොද සතෙක් යෝජනා කරන්න වෙනව.

      Delete
  16. අනේ මෙයාලට බල්ලෝ කියන්න එපා අප්පා...බල්ලෝ පවූවූ !!

    ReplyDelete
    Replies
    1. ඒකනේ Dude බලවත් විරෝධයත් පලකලා.

      Delete
  17. දෙවෙනි සිදුවීමෙදිනං පැහැදිලි උපදෙස් තියෙන නිසා ලොක්කයි රාජුයි දෙන්නම ගොඩ. නමුත් ඉතිං දැං රාජ්‍ය සේවෙ කියන්නෙ ආයතන සංග්‍රහ, චක්‍රලේඛණ වලටත් උඩින් පුද්ගලික ලොකුකං මත වෙන එකක් වෙලා තියෙන නිසා ගොඩක් විට වෙන්නෙ පළවෙනි අවස්ථාව වගේ එව්ව තමයි නේද?

    එකම වැඩේ කරගන්න එන ලොක්කෙක්, බල්ලෙක් සහ පොඩි මිනිහෙක් සම්බන්ධයෙන් නිලධාරියෙක්ට ගන්න වෙන පියවර සෑහෙන්න වෙනස් වෙනව.

    ReplyDelete
    Replies
    1. පලවෙනි සිද්ධියත් ඒවගේ තමයි. මම කලේ 100%ක් නීති විරෝධී කටයුත්තක්. ඒත් ලොක්කගෙ ඕඩර් එකක් නිසා මට අවුලක් නෑ. ඒ දේ උනත් වංචා සහගත දෙයක් නෙවේ. ඒත් නීති විරෝධියි.

      Delete
  18. අයියාට විරුද්ද්ව කකුල් 4රේ බල්ලෝ අපහස නඩු දානව මේක දැක්කොත් එහෙනම් ඒක සුවර්..

    ReplyDelete
  19. රියදුරු බල්ල මෙහෙනම් අයිතිකාරයා ගැන කිනම් කතාද ?

    ජය !

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඌට කියන්න ඕන කොහොමද කියල මටත් හිතාගන්න බෑ.

      Delete
  20. තමන්ගේ හැදුනුම්පත තියාගෙන අර හැදුනුම්පත දෙන්න ඇත්තේ ඒක දැක්කම විශේෂ සැලකිල්ලක් දේවි කියලා හිතාගෙන වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඔවු ඒකතමයි. හැදුනුම්පතයි දැන් නිකුත්කරන අලුත් වර්ගයේ ඩ්‍රයිවින් ලයිසන් එකයි දෙකම තිබුන. ඌට පුදුම ඔලුවෙ අමාරුවක් තිබිල තියෙන්නෙ.

      Delete
    2. හැබැයි පොර ආයි ඔය ගොන්කම කරන්න යන එකක් නෑ... මුලින්ම උඹ බෑ කිව්වහම අයි ඩී එක නොදී පොර ටෝක් දෙන්න ඇත්තෙ චාටර් එක වහගන්න...

      Delete
  21. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ මචන්

    ReplyDelete
    Replies
    1. මේව හැමෝම දැනගන්න ඕන නිසයි ලිව්වෙ.

      Delete
  22. බල්ලන්ටම ගිය රට කියල අපේ සීය කිව්වෙ නිකම්යැ...හුහ්..!!

    ReplyDelete
  23. කොහොම උනත්,එස්පීඕ මහත්තයත්, ඔයත් කරලා තියෙන්නේ, හොඳ නිර්භීත වැඩක්. හැම දෙනාටම ඔහොම ඉන්ට පුලුවන් නම් රටේ සමහර දේවල් නිසි පරිදි වෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒකනෙ යම් පිරිසකට හරි සාධාරණ වෙන්න පුළුවන් නං .....

      Delete
  24. ලොකු තැන් වල වැඩ කරන පොඩි මිනිස්සු ඒක ඇඟට ගත්තම වසල හමාරයි.....:(

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කටු කන බල්ලො සැරයි කිව්වෙ.

      Delete
  25. අප්පෝ ලංකාව ගැන නම් කතා කරලා වැඩක් නෑ.නිතිය බල්ලට ගොහින්.බල්ලොත් මිට වැඩිය හොදයි,සල්ලි බලේ,තමන්ගේ තනතුරු වල බලය,තමන්ගේ සේවා ස්ථානයේ,සුවාමියාගේ බලය වගේ දේවල අයුතු විදියට පාවිච්චි කරන අයයි බොහොමයක් ඉන්නෙ.ඒ අය මොන වැරැද්ද කලත් ඒ දේ නිවැරදියි.නීතියෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ඒ අය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන් නෑ.ක්‍රියාත්මක කරන්න හදන අයටත් ඒවාට ඉඩක් නෑ.සමහර විට එහෙම ක්‍රියාත්මක වෙන්න ගියොත් ජීවිතෙන් වන්දි ගෙවන්නත් වෙනවනේ.උදේ පත්තරයක් අතට ගත්තහම ඔය වගේ කතා කොච්චරනම් තියනවද,පේනවනෙ පාරවල් වල ඔය වගේ ලොකු ලොක්කෝ යද්දී වෙන දේ....උන්ට කිසි නීතියක් නෑ....පොලිසියෙන් අල්ල්ලන්නෙත් නෑ..කවද අපේ රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙයිද මන්ද.........

    ReplyDelete
    Replies
    1. මින්ස්සුන්ට මේ දේවල් හරියට දැනෙන්න ගත්ත දවසට තමයි නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වෙන්නෙ. එතකං මේ දේවල් තියේවි. මේ ගැන පුවවන් තරම් මිනිස්සු දැනුවත් කිරීමයි වගකීම වෙන්නෙ.

      Delete
  26. මේක නම් බල්ලොන්ට කරන අපහාසයක්. බල්ලෝ මිට වඩා කොයිතරම් හොඳද, ගුණගරුකද ! අපේ කැම්පස් එකෙත් ඉන්නවා ඔය ජාතියේ එවුන් ඉන්න තැනක් ශිෂ්‍ය සේවා අංශය කියලා. ඒකේ ඉන්න එවුන් හිතාගෙන ඉන්නේ ළමයි ඉගෙනගන්නේ උන් හින්දා.. අවුට් වෙලා යන දවසට හොඳ දෙකක් කතාකරන්න ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. කැම්පස් වල තත්වය හරිම අන්තිමයි.

      Delete
  27. හෆ්ෆටසිලි...බල්ලා....

    ReplyDelete
  28. mage mithra STF AsSP warayek samaga dinak ma enawita mura polakadi apawa nawatha dadi parikshawta lak kala namuth ma mithraya ohige rajakaree hadunumpath penwuye na.

    STF aya ehemalu purudu karala thiyenne

    ReplyDelete