Wednesday, August 29, 2012

සුපිරි වීරයෝ සහ පුටු ආරක්ෂකයෝ.

ටික කලකට පෙර, මා නැරඹූ ටෙලිනාට්‍ය අතර දෙරණ රූපවාහිණියේ "මලී" නම් ටෙලිනාට්‍යද විය. කාර්ය බහුලත්වය රූපවාහිනීය දුරස්කල අතර ඉන්පසු බොහෝ කාලයක් යනතෙක් උක්ත නාට්‍ය නැරඹීමට නොහැකි විය. පසුගිය දිනක අන්තර්ජාලය ඔස්සේ දෙරණ අඩවියට ගොස් මඟහැරුණු තැන සිට නාට්‍ය නැරඹීමට පටන්ගතිමි. පිටිසර ගම්මානයක වෙදගෙදරක් මුල්කර ගනිමින් යම්කිසි යතාර්ථවාදී ස්වභාවයකින්ද විකිණියහැකි "ගැමි කමකින්ද" යුක්ත වූ මෙම නාට්‍ය මේ වනවිට මුල් අරමුණින් අපගමනයට ලක්වී ඇත. සාමාන්‍යයෙන් ලංකාවේද කලාතුරකින් දක්නට ලැබෙන දක්ෂ දේශීය වෛද්‍යවරයෙකුගේ චරිතය නිරූපනය කරන "ඩිංගිරි" වෙදහාමිනේගේ (දුලීකා මාරපන) චරිතය මේ වනවිට වෙනස්වී ඇති ආකාරය අපූරුය. එය, සාමාන්‍යයෙන් අසාමාන්‍ය දක්ෂතාවයක් ඇති වෙදහාමිනේගේ සිට ඕනෑම දෙයක් කලහැකි, කිසිවෙකුටත් පරාජය කල නොහැකි "සුපිරි වීරයා" මට්ටමට එසවීමට අධ්‍යක්ෂක වරයා තීරණය කර ඇත. දැන් ඩිංගිරි වෙදහාමිනේට කල නොහැක්කක් නොමැත. ප්‍රේක්ෂක අදහස් තීරුව අනුව සුපිරි වීරවරියට ඔවුන් මනාපය. මෙය නාට්‍ය විචාරයක් නොවන නිසා ඒ ගැන කතාව දැනට නවත්වමි.

සුපිරි වීරයා! සමාජයේ බොහෝ දෙනෙකු කැමති සංකල්පයකි. නින්දෙන් පිබිදෙන රාවනා රජතුමා ගැන විශ්වාස කරන සුළු පිරිසක් හෝ අද සමාජයේත් සිටින බව සති අන්ත පුවත්පත් අපට කියාපායි. මෙය ලෝක ඉතිහාසය පුරාම දක්නට ඇති සංසිද්ධියකි. සුපිරි වීරයා සමඟ බැඳී ඇති අනෙක් පාර්ශවය නම් "පුටු ආරක්ෂකයන්ය". රණ ශූරයන්ගේ පුරාවෘත්ත අනුව අවසාන මොහොතේ ශූරයා පැමිනෙන තෙක් ඔහුට අයිති අසුන රැකගැනීම මොවුන්ගේ කාර්යයි. එහෙත් මොවුන් කිසිවිටෙකත් සුපිරි වීරයාට අභියෝගයක් නොවන්නේ තමන්ට නොහැකිය හෝ තමන් නුසුදුසු යැයි ඇති හීනමානය නිසා විය හැකිය. එය හරියටම අපේ ඉතිහාසයේ කැප්පෙටිපොල, මඩුගල්ලේ වැනි නායකයින් ර‍ජවීම සඳහා නොව (රජෙකු නැතිවිට පවා) සුදුස්සෙකු රජකරවීම සඳහා සටන්කිරීම වැනිය. විප්ලවයට පසු ප්‍රති විප්ලවයක්ද සිදුකිරීමට රුසියානුවන්ට සිදුවූයේ මෙම හැඟීම පරාජය කිරීම සඳහාය.

දකුණු ආසියානු දේශපාලනයේ සුපිරි වීරයන් බිහිවීමටද වීරයන් බලුවීමටද වැඩි කල් නොයයි. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂය දක්වා ඇවිදගොස් හිඳගනිද්දීම ඔහු සුපිරි වීරයා බවට පත්වී හමාරය. ස්වාමියාගේ මරණයෙන් පසු වීරවරිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය 77දී බලුවිය. 77 සිට සුපිරි වීරයෙකු නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුටුව, හෙක්ටර් කොබ්බෑකඩුව, අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ.... වැන්නන් රැකගත්තේ "සපෝටර්ගේ" චරිතයට පන පොවමිනි. 94දී සුපිරි වීරවරිය වූ චන්ද්‍රිකා මැතිනියගේ පැමිණීමෙන් එම නාටකය අවසන්විය.


දැන් මඳකට එජාපය දෙසට හැරෙමු. 1994 වනවිට සිටි වීරයා සහ වෙන්ට සිටින වීරයන් සියල්ල ඝාතනයවී අරාජික තත්වයක තිබූ එජාපයට උරදීමට සිටියේ රනිල් වික්‍රමසිංහ පමණි. 94 ජනාධිපතිවරණයේදී ශ්‍රීමා දිසානායකට සිහසුන ලබාදී ඇය සුපිරි වීරවරිය කිරීමට ගත් උත්සාහය 17 කැරැල්ල මෙන් වූයේ චන්ද්‍රිකා මැතිනිය ඒ වනවිටත් සමාජය තුල තම ස්ථානය තහවුරු කරගෙන තිබූ නිසාවෙනි. ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාට, විටෙක වීරයාගේද විටෙක සපෝටර්ගේද චරිතයට පනපෙවීමට අවස්තාව ලැබුනත් ඔහු සාර්ථක නොවීය, නැතහොත් සිහසුන ලඟටම පැමිණ පසුබැස්සේය.



මේ වනවිට සුපිරි වීරයාදැයි සපෝටර් කෙනෙකුදැයි නිශ්චිතව හඳුනාගත නොහැකි සජිත් ප්‍රේමදාස සහ රනිල් අතර ඇති සටන තීරණාත්මකය. රනිල්, වඩා සුදුසු සුපිරි වීරයා නොව සපෝටර්ගේ ස්ථානයට බව ඉතිහාසය ඔප්පු කර අවසන්ය. වෙනත් විදියකින් කිවහොත් ඔහුට වීරයා වීමට ඇති සම්භාවිතාව ඉතා අඩුය. මන්ද ඕනෑවට වඩා මහන්සි වී ඇති සටන්කරුවකුට සිහසුන අසලම සිදුවන "අන්තිම සටනේදී" ජය ගැනීම අසීරු බැවිනි. අනෙක් අතට දුෂ්ටයාද ඉතා බලවත් බැවින් සටන ලෙහෙසි නැත. සජිත් ප්‍රේමදාසගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය. ඔහු "සුපිරි වීරයා" වන්නේද නැතහොත් "සපෝටර්" කෙනෙකු වන්නේද යන්න විචල්‍යන් රාශියක් ඇති සමීකරණයක ගමන්මඟ වැනිය. එය අනාගතය විසින් තීරණය කරනු ඇත.

Tuesday, August 28, 2012

අනේ අපොයි! (18+)

Hardcore ද
Gang bang ද
Gay ද
Lesbo ද


Lovers
Interview ද
Cam ද
Recording ද


Mature-amature,
Teen ද old ද
Teen & old ද
Sexual fetish ද


Big tit ද
Big butt ද
Blonde ද
Blow job ද


සියල්ලම තිබුනේය
මම ආව බස්එකේ.
පොද වැස්ස නිසාවෙන්
බයික්කෙත් මඟදමා!



ප.ලි.- ලින්ක් දාන්නත් ඕනද හැබෑට?

Wednesday, August 22, 2012

දූෂණයේ විචල්‍යය.


දූෂකයා ඇයව දූෂණය කලේය. ඉන්පසු..............

ඇගේ කතාව.
මම වැඩ ඇරිල එනකොට ඔය මිනිහ ටික දවසක් මගේ පස්සෙන් ආව. එයාට කැමතිද කියලත් ඇහුව. මම නෑ කිව්ව. 28 වෙනිදත් මම වැඩ ඇරිල එද්දි එක එක ඒව කිය කිය මගේ පස්සෙන් ඇවිල්ල පාළු ඉසව්වෙදි තමයි මේ දේ කලේ..............

ඇගේ පියා.
...........මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලාසිටින්නෙ මේ අපරාධ වලට මරණ දඬුවම දෙන්න කියල. අලුගෝසුවෙක් නැතිනම් මම එන්නම්...............

දූෂකයා.
එයා වැඩ ඇරිල එද්දි හැමදාම වගේ මාත් එක්ක හිනාවෙනව. හිනාවුන නිසා මං හිතුවෙ මට කැමතියි කියල. වැරැද්ද පිලිගන්නව. එයා කැමතියි නං මං බඳින්න උනත් කැමතියි.........

දූෂකයාගේ මව.
ඕකි එච්චර හොඳ එකියක් නෙවේ. මටත් කනෙන් කොනෙං ආරංචි වෙලා තිබුනෙ ඕකි මගේ කොල්ලත් එක්ක පාළු පාරවල් වල මුකුළු කර කර ඉන්නව කියල. කොල්ලව දැලේ දාගන්න බැරිවුනාම කියන කතා තමයි ඔය. ඕකිගෙ අම්මගෙ හැටිත් අපි නොදන්නව කියලයැ. අනෙක තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ.

දූෂකයාගේ මිත්‍රයෙක්.
ඔය කෙල්ල ඒ කාලෙ මගේ පස්සෙනුත් ආව. එයාට තියෙන්නෙ උපං ගෙයි මෝල් අමාරුවක්. මීට කලිනුත් කොල්ලො කීප දෙනෙක් එක්කම යාලුවෙලා හිටිය. ඕකිගෙ ....... අමුතුවෙන් කැඩෙන්න දෙයක් නෑ.

පැමිණිල්ල ලියාගත් පොලිස් කාන්තාව.
මං මුල ඉඳලම විස්තරේ අහගත්ත. මට පේන්නෙ මේකිගෙත් කැමැත්තෙන්ද කොහේද වෙලා තියෙන්නෙ. අනේ මංද....... අපිටත් කරදරේ. කෙල්ලො උනාම පරිස්සං වෙන්න එපාය.

විපක්ෂ මන්ත්‍රී වරයෙක්.
බලන්න දැන් රටේ ස්ත්‍රී දූෂණ රැල්ලක් තියනව. එන්න එන්නම අපරාධ වැඩිවෙනව. බලයේ ඉන්න ආණ්ඩුව තමයි මේවට වගකියන්න ඕන.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙක්.
දූෂණ සිදුවෙනව තමයි. ඒත් වැඩිවීමක් නෑ. කවුද කියන්නෙ වැඩිවෙනව කියල? කෝ සංඛ්‍යා ලේඛණ? නීතිය ගැන ආණ්ඩුව ගැන මිනිස්සුන්ට තියන විශ්වාසය නිසා දැං බය නැතුව පැමිණිලි කරනව‍. අනෙක ආණ්ඩුවෙ මාධ්‍ය නිදහස නිසා මාධ්‍යන් පුළුල් වෙලා. ඒ නිසා වාර්තාවීම් වැඩියි.

රැඩිකල්වාදියෙක්.
................... අපේ රටට වික්ටෝරියානු සභ්‍යත්වය පැමිනීමත් එක්ක තමයි මේ අවුල හැදුනෙ. මේ තත්වය නැතිකරන්න ඕන. ........ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න ඕන.

උපාසක මහත්තයෙක්.
මෙහෙම දෙයක් උනේ ඒ කෙලීගෙ පෙර කරුමෙට වෙන්න ඇති‍...............

සුචරිතවාදියෙක්.
මම කීප දවසක්ම දැක්ක ඔය ගෑණු ලමය කොටට කොටේ සායවල්, ඇඟට හිරවුනු කලිසං ඇඳගෙන යනව. මේව දකිනකොට මිනිස්සුන්ගෙ හැඟීම් ඇවිස්සෙනව‍නෙ. දනහිසෙන් පහලට ඇඳුම් ඇඳල සංවරව පාරෙ තොටේ යනව නම් ඔය කරදර සිද්ධ වෙන්නෙ නෑ.


සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.

Monday, August 20, 2012

ඇත්තම ඇත්ත ATM කතාවක්.


දාන්න හිතාගෙන හිටිය පෝස්ටුව වෙනුවට මේක ඉස්සරවුනේ හෙන්රි අයියයි,
ඇවිද්ද පයේ සුදීකයි
රත්කල තැටිය නිවෙන්න කලින් රොටිය පුච්චගන්න ඕන නිසා. කොටින්ම මේක ATM කතාවක්. ඇත්තම ඇත්ත. කෙටි කතාවක් වගේ රසවත්‍. ඒකයි ලියන්නෙ.

මීට අවුරුද්දකට විතර කලින් අපේ ඔපීසියෙ වැඩකලා ක්ලීනින් සර්විස් එකක ගෑණු මනුස්සයො දෙන්නෙක්. ඔපීසියෙ කැන්ටින් එකට යාබදව තිබුන වැසිකිලියක ප්‍රමාණයේ කාමරයක එයාලගෙ බඩුභාණ්ඩ ටිකත් තියාගෙන දැහැමෙන් සෙමෙන් තමුංගෙ රාජකාරිය කරගෙන හිටිය. "අක්ක"යි "නංගි"යි වගේ බොහෝම ලෙංගතුව තමයි මේ දෙන්න හිටියෙ. ඔන්න එක දවසක් මේ දෙන්නගෙන් "අක්ක" මාව හොයාගෙන ආව.

අක්ක : රාජ් මහත්තයෝ මට හරි වැඩේනෙ උනේ.

මම : ඇයි?

අක්ක : මගේ බැංකු පොතේ තිබුන රුපියල් තුන්දාහක්, ඒක නෑනේ.....

මම : ඒ කිව්වෙ? කොහොමද දන්නෙ?

අක්ක : මම දැන් පෙට් මැසින් එකට ලඟට ගිහිල්ල සල්ලි ගන්න බැලුව සල්ලි නෑ.

මේ මනුස්සය ලියුමක් ලියවගන්න, හාෆ්ශීට් එකක්, පෑනක්-පැන්සලක් ඉල්ලගන්න වගේම ෆෝන් එකේ ලොක්එක ඇරගන්න වගේ බරපතල තාක්ෂණික ගැටළු ආවම එන්නෙ මගේ ලඟට. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනනේ. මම ප්‍රශ්න වටය පටන් ගත්ත.

මම : හරියටම ෂුවර්ද ඕකෙ සල්ලි තිබුන කියල? මොකද මේ ගෑනිට හරියට මතකද දන්නෙ නෑනේ.

අක්ක : ඔව් මහත්තයෝ සල්ලි තිබුන. පඩි දැම්මෙ සඳුද. තුන්දාහක් එදාම ගත්ත, අනිත් තුන්දාහ නෑ.

මම : පෙට් කාඩ් එකක් තියනවනේ, ඒකෙ අංකෙ කොහෙද තියෙන්නෙ?

අක්ක : අංකෙ පොඩි කොලේක ලියල ඒක ඇතුලෙමයි තිබුනෙ. මෝඩකමට බේත් නෑ නෙවැ.

මම : මහත්තය ගත්ත වෙන්න බැරිද?

අක්ක : නෑ මහත්තයෝ, එයා දන්නෙත් නෑ සල්ලි ගන්න.
මේ කතාව අස්සෙ "නංගි"ත් ආව.
මම : කාඩ් එක කොහෙද තියෙන්නෙ.

අක්ක : මගේ හෑන්බෑග් එකේ.

මම : දැන් තියනවද?

අක්ක : ඔව්. තියනව. ඒක අරගෙනනෙ මම පෙට් එකට ගියේ. හරිනෙ මෝඩ ප්‍රශ්නයක්.

මම : හරි. එහෙනං වෙන්න තියෙන්නෙ මෙච්චරයි. එක්කෝ හොරෙක් කාඩ්එක අරගෙන සල්ලි අරගෙන ආයිත් දැම්ම, නැත්තං බැංකුවට වැරදිලා. ඔයා ගිහිල්ල කියන්න මැනේජර්ට විස්තරේ. බැංකුවෙ වැරැද්දක් නං එයාල සල්ලි දෙයි. හොරෙක් ගත්තනං අල්ලල දෙයි. මොකද ඔය පෙට්එක ලඟ කැමරා හයිකරල තියෙන්නෙ. ඒවයෙන් බේරෙන්න බෑ.

කතාව එදිවට ඉවරයි. "අක්ක" ගිහිල්ල බැංකුවට කියල. මැනේජර් මහත්තය ලියුමක් ඉල්ලල. තමුන්ගෙ මුදල් නැතිවුන බවත් පරීක්ෂණයක් කර හොයාදෙන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටින බවත් ලියල දුන්නෙ මමමයි. ඒ සිකුරාදා දවසක. එදා හවස, පරීක්ෂණයේ ප්‍රගතිය "අක්ක" "නංගි"ටත් කියල.

සඳුද උදේම මේ මනුස්සය ගියා බැංකුවට, මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. මැනේජර් මහත්තයගෙන් විස්තර ඇහුවම "අක්කට" තරු පෙනුන,

අක්ක : සර් මම ආවෙ අර සල්ලි නැතිවෙච්ච........

මැනේජර් : ඇයි ඔයා ලියුමක් එවල තිබුනෙ සල්ලි ලැබුන කියල?

අක්ක :(පුදුමයෙන්) ලියුමක්? මම ලියුමක් දීල ගියේ එදා සර්ට. ඊට පස්සෙ ආවෙ නෑ.

මැනේජර් : ඔයා සෙනසුරාද අපේ සිකියුරිටිට ලියුමක් දීල ගියේ නැද්ද, සල්ලි ලැබුන කියල? (මඳක් සොයා) මේ තියෙන්නෙ ලියුම.

සඳුද හවස.

අක්ක : මහත්තයෝ මාර වැඩේ වෙලා තියෙන්නෙ?

මම : ඇයි?

අක්ක : අර.....("නංගි") තමයි සල්ලි අරගෙන තියෙන්නෙ.

මම : oඈ...?

අක්ක : ඔව්. එදා අපි දෙන්නගෙ කතාව එයා අහගෙන හිටියනේ. කැමරා හයිකරල තියනව කියල මහත්තය කිව් නිසා ගෑනි බයවෙන්න ඇති. ඒ ගමන මෙයා කරල තියෙන්නෙ සෙනසුරාද බැංකුව ලඟට ඇවිල්ල මම ලියන විදියට ලියුමක් ලියල සල්ලි ලැබුනයි, පරීක්ෂණ කරන්න ‍ඕන නැතෙයි, කියල මගේ අස්සනත් ගහල මැනේජර්ට දීල. මම බැලුවම මෙයාගෙ අකුරු. මට හොඳටම තරහ ගියා මහත්තයෝ එකට ඉන්න ගෑනිටත් මෙහෙමනං කරන්නෙ.....මම කිව්ව ‍ඇත්ත කිව්වෙ නැත්තං පොලිසි යනව කියල. ගෑනි බයවුනා. ඒ ගමන කිව්ව "හදිසියකට සල්ලි ඕන වෙලා අක්කගෙ කාඩ් එකෙන් ගත්තය, පස්සෙ දෙන්න බලං" කියල. ඊට පස්සෙ ගෑනි ඇඬුව හොඳටම...............

මම : හ්ම්. මදැයි ඔයිං ගියා. රහස් අංකෙ මතක ඇතුව කාඩ් එකත් එක්කම දාල තියන්න. මාත් ෂර්ලොක් හෝම්ස් වගේ පරීක්ෂණය අවසන් කලා.

අක්ක : නෑ මහත්තයෝ මම දැන් ඒක වෙන තැනක හංගල තියෙන්නෙ.


Friday, August 17, 2012

ලයිට් කැපිල්ලේ විහිළු කතා. jokes @ power cut time



මේ දවස්වල ලයිට් කැපිල්ල නැගල යනවනෙ. ඔපීසියෙදි ලයිට් කැපුවම, රස්නෙ නිසා ඇතුලෙ ඉඳිල්ල ලේසි නෑ. සමහර වෙලාවට තාප්පය අයිනෙ තියන ගහක් යටට ඇවිල්ල ඉන්න සිද්ධවෙනව. ඒවගේ වෙලාවල් වල අහපු කියපු කතා දෙකතුනක් තමයි මේ.

පලමු කතාව සමෘද්ධි නියාමක කෙනෙක් ගැන. කතා නායකය අධික ලෝභයෙක්. පුළුවන් හැම දේම අනුන්ගෙන් ෂේප් වෙන්න බලන මෙයාට මොකක්දෝ නමකුත් කිව්ව, දැන් මතක නෑ. ඔන්න මෙයාගෙ කාර්යාලයේ උදවිය කොහේදෝ ට්‍රිප් එකක් ගිහිල්ල. මෑනුත් සෙට්වෙලා. අතරමඟදි බස්එක නැවැත්වූ වෙලාවක මෙයාගෙ පොකැට්ටුවෙන් රුපියල් තුන්දාහක් වැටිල. වෙන එකෙක් ඒක අහුලගෙන. කියන්න අමතක වුනා මෙයා බොන්න දක්ෂයා. ඒත් තමුංගෙ සල්ලිවලට නම් නෙවේ. මෑන්ගෙ කුම්මැහිකම දන්න නිසා අනිත් කස්ටිය පොඩි ප්ලෑනක් ගැහුව. ඒක මෙහෙමයි. එකෙක් කට්ටිය ඉන්න තැනට ඇවිල්ල ඇහුව "රුපියල් තුන්දාහක ටිකට් එකක් ඇදුන, මොකද කරන්නෙ?" කියල. අනේ අපේ කතා නායකය පැනපු ගමන් කිව්ව "එහෙනං අපි ඒකෙ අඩියක් ගහමු" කියල. යාලුව ආයෙත් ඇහුව "තුන්දාහෙම බිව්වට කමක් නැද්ද?" කියල. මෑන් කියනව "තුන්දාහත් ගානක්ද! කරමු" කියල. හරි, දැන් වැඩේ අනුමතයිනේ, අරක්කු බෝතල් තුන හතරක් ගෙනල්ල කස්ටිය බොනව. අන්තිම බෝතලෙත් අඩිය පේන ගානට ආවම ටිකට් එක ඇදුනු එකා කියනව, "මචං, මට ටිකට් එකක් ඇදුනෙ නෑ, මම රුපියල් තුන්දාහක් අහුලගත්තනේ ඉස්සෙල්ල බස්එක නවත්වපු වෙලාවෙ" කියල. ඔන්න එතකොට අපේ මෑන් සාක්කු අදින්න පටන් ගත්ත. ඒත් ප්‍රමාද වැඩියි. "අනේ මචං ඒ නැතිවෙලා තියෙන්නෙ මගේ සල්ලි....., මට මගේ සල්ලි දියල්ල......" වෙරි හිඳුනු මිනිහ මහ හයියෙන් අඬන්න පටන්ගත්තලු. ඒත් එක්කම මිනිහට පපුවෙ අමාරුවකුත් හැදිල. යාලුවො ටිකත් බයවෙලා. පස්සෙ දොස්තර කෙනෙකුටත් පෙන්නල සල්ලිත් එකතු කරල දීලයි වැඩේ අවසන්වුනේ.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

දෙවනි කතාව මතක්වුනේ ඊයෙ දැක්ක හෙන්රි අයිය අලියට බයේ දුවපු දිවිල්ල ගැන පෝස්ටුව නිසා. මේ පැත්තෙ බූරු පිටියකට පොලිසිය පැනල. සූදුකාරයො දුවල. දුවපු එකෙක් ලඟ තිබිල තියනව වටින සෙරෙප්පු දෙකක්. එයා දුවන වෙලාවෙ සෙරෙප්පු දෙක කකුලෙන් ගැලවිලා. කෙහොමහරි වෙනත් පැත්තකට දිව්ව එකෙක් මේ සීන්එක දැකල තියනව. දුවමින් හිටිය එයා ආපස්සට හැරිල ඇවිත් සූදුපොල කිට්ටුව වැටිල තිබුන හොඳ සෙරෙප්පු දෙක තමන්ගෙ රබර් සෙරෙප්පු දෙකට මාරු කරගෙන ආයෙත් දිව්වලු. හෙන්රි අයිය වගේම තමයි නේද?

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේකත් පොලිස් කතාවක්. පොලිසියක ඉඳල තියනව ග්‍රාමාරක්ෂකයෙක්. ඒ පොලිසියෙ ඕඅයිසී මහත්තය හොඳට දන්නකියන, ඕඅයිසී මහත්තය එක්ක ඉඳහිට සෙට්වෙන මනුස්සයෙක් ගමේ ඉන්නව. ඒත් මෙයා ග්‍රාමාරක්ෂකයට කිසි සැලකිල්ලක් නැහැ. දවසක් ග්‍රාමාරක්ෂකය මෑන්ගෙන් ගල් බෝතලයක් නොඉල්ලා ඉල්ලල. ඒත් ඕඅයිසී මහත්තය එක්ක සෙට්වෙන මම මොකටද ගම්බට්ටන්ට සලකන්නෙ කියල බෝතලේ දීල නෑ. ග්‍රාමාරක්ෂකය තරහ හිතේ තියාගෙන ඉඳල. එක දවසක් තිත්තයටත් වාරය ඇවිල්ල. එදා ප්‍රතිවාදිය ඉඳල තියෙන්නෙ බීමත්ව පොලිසිය ලඟින් වාහනය පදවමින්. ග්‍රාමාරක්ෂකයගෙන් බුරුලක් ලැබිල නෑ. අනෙකාත් අත්හැරල නෑ, මොකද ඕඅයිසීගෙ පවර්එක තියනවනේ. ඒක ග්‍රාමාරක්ෂකයත් දන්නව. එයා ඕඅයිසී මහත්තයට කෝල් එකක් ගත්ත, "සර්, බීල වාහනේක ආපු එකෙක් කෑ ගහනව, මොකද කරන්නෙ?" හැබැයි ආවෙ කවුද කියල කිව්වෙ නෑ. "දානව කූඩුවට, වෙරි හි‍‍‍ඳෙයි එතකොට" ඕඩරෙත් ලැබුන, ඕඅයිසී මහත්තයගෙ යාලුව කූඩුවෙ. ඊට පස්සෙ ඕඅයිසී මහත්තය ඇවිල්ල සියල්ල සහසුද්දෙන් දැනගත්තට පස්සෙ යටත් නිලධාරියට කනේපාරකුත් දීල යාලුව ගත්ත. දැන් ඒ දෙන්නත් යාලුවො.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

අන්තිම කතාවත් පොලිස් කතාවක්. එක්තරා පොලිසියක හිටිය ඕඅයිසී මහත්තයෙකේ. සංකේතාත්මකව, අවංකයි සාධාරණයි කාටත් එක හැන්දෙන්. වසම තුල ගමක හොරකමක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් අල්ලගෙන පොලිසියට ගෙනාව.‍ ගෙනල්ල පැය භාගයක් ගියේ නෑ දිස්ත්‍රික්කෙ ඉන්න ඇමතිතුමාගෙන් කෝල් එකක් එනව, "ඕඅයිසී මහත්තය XXXයි YYYයි මගේ මිනිස්සු. රාජකාරි කරන්න හැබැයි රිලීස් කරල". මොනව කරන්නද! ඒ දෙන්න අත්හරින්න ඕඅයිසී මහත්තයට සිදුවුනා. තවත් ටික වෙලාවකින් ඒ පැත්තෙ ඉන්න පළාත් සභා මන්තිරිය කෝල් කරනව. "ඕඅයිසී මහත්තය ZZZ කියන මිනිහ මගේ. එයාව නිදහස් කරන්න". අනේ ඕඅයිසී මහත්තය එයාවත් නිදහස් කලා. ටික වෙලාවකින් රාලහාමි කෙනෙකුට කතා කරල කූඩුවෙ ඉන්න අනිත් දෙන්න තමුං ලඟට ගෙන්වාගත්ත,

"උඹලගෙ XXXයි YYYයි දෙන්න ඇමතිතුමා නිදහස් කලා, ZZZ මන්ත්‍රීතුමා නිදහස් කලා. උඹලත් පලයල්ල, මගේ ගානෙ"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේ අතරෙ මාත් කිව්ව කතා දෙකක්. "පහුගිය අවුරුද්දක විදුලිබල ඇමතිතුමෙක් කිව්ව ඉදිරියෙදි ඉන්දියාවටත් විදුලිය සපයනව කියල". "පාඨලී චම්පික රණවක ඇමතිතුමා ලඟදි කිව්ව න්‍යෂ්ටික බලාගාරයකුත් ලංකාවෙ ඇතිකරනව කියල". ඒත් දැනට පැය තුනක් ලයිට් කපනව.
කට්ටියට හොඳටම හිනා.

☻ ☺ ☻ ☺ ☻ ☻ ☺ ☻ ☺ ☻ ☺



Tuesday, August 14, 2012

කූඩුකල වඳුරෝ සහ රාජ්‍ය සේවකයෝ.


"විසිතුරු" බ්ලොග් අඩවියේ තිබූ කතාවකට අනුව වඳුරන් පිළිබඳව එංගලන්තයේ සිදුකල පරීක්ෂණයක් මෙසේය. වඳුරන් කිහිපදෙනෙකු කාමරයක් තුලට දමා ඇති අතර එක් වඳුරෙකුගේ යම් ක්‍රියා කලාපයකින් අනෙකුත් සියල්ලන්ට සීතල වතුර සංග්‍රහයක් ලැබීමට සිදුවේ. ප්‍රථිඵලය වන්නේ චූදිතයාට පහරකෑමට සිදුවීමයි. එමනිසා ඔවුන් ක්‍රමයෙන් අදාල ක්‍රියාවෙන් මිදෙන අතර පැරණි වඳුරන් ඉවත්කර නව වඳුරන් කූඩුවට එක් කිරීමට පර්යේෂකයන් කටයුතු කරයි. එකම චර්යාව පුරුදු පුහුණු කලපසු තවදුරටත් සීතල වතුර නොවැදුනද "වැරැද්ද"(?) සිදුකල වඳුරන්ට පහරදීම නොනවතින බව පර්යේෂකයන් සොයාගනී.(සම්පූර්ණ විස්තරය මෙතැනින්)

වඳුරන්ගේ මෙම ක්‍රියාකලාපයට සමාන තත්වයන් මිනිසුන් අතරද දැකියහැකි අවස්ථා එමටය. අපේ රාජ්‍ය සේවය ඉන් එකකි. පෙර කල සිට පුරුදු පුහුණු කල, එහෙත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති කාර්යාල ක්‍රම එමටය. කලින් කලට නීතිරීති වෙනස්වුවද ඊට සමගාමීව යාවත්කාලීන නොවූ රාජ්‍ය සේවකයා අකාර්යක්ෂමතාවය ඇතිකරයි. මේ එවන් අවස්ථා කිහිපයකි.

මගේ මතකය අනුව 2007 වසරේ සිට සියළුම අමාත්‍යංශ දෙපාර්තමේන්තු සේවකයන්ගේ වැටුප් ගෙවීම බැංකු මඟින් සිදුකිරීමට තීරනය කෙරිනි. ඒ අනුව සේවකයා ලබාදෙන තම බැංකු ගිණුමකට වැටුප් බැර කිරීම සිදු කරයි. මීට පෙර සිදුකල "අතට පඩිගෙවීමේ" අවස්ථාවේදී යම් අයෙක්, තම වැටුප ලබාගත් බවට වැටුප් පත්‍රිකාවෙහි (pay sheet) අත්සන් කරනු ලබයි. එකල වැටුප ලබාගත් බවට එකම සාක්ෂිය එය වන අතර යම් අයෙක් අත්සන් නොකල වැටුප් පත්‍රිකාවක් වෙනුවෙන් විගණනයේදී හේතු දැක්වීමට සිදුවේ. නව ක්‍රමයේදී අත්සන් කලද නොකලද අදාල දිනයේදී ගිණුමට මුදල් බැරවෙන බැවින් "අත්සන සහිත වැටුප් පත්‍රිකාවෙහි" කිසිදු වටිනාකමක් නොමැත. එහෙත් විගණනයේදී හෙලිවන "අත්සන් රහිත නම්" වෙනුවෙන් අදත් උත්තර බැඳීමට සිදුවේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාලයකින් මුල් පත්වීම් ලබා එහි වසර තුනක් පමණ සේවය කලපසු මා දැන් සේවය කරන කාර්යාලයට පැමිණියේ මීට වසර තුනකට පමණ පෙරදීය. රජයේ නිවාඩු දිනයක සේවය කිරීම වෙනුවෙන් මාහට හිමි මුදල ලබාගැනීම සඳහා, දිනක් වවුචර්පතක් ඉදිරිපත් කලෙමි. (සාමාන්‍යයෙන් පෝය දිනක හෝ වෙනත් රජයේ නිවාඩු දිනක පැය 8ක් සේවය කලපසු දිනක වැටුප අමතරව ලබාගත හැකිය). ගෙවීමේ ක්‍රියාවලිය තුල සිටි එක් ජ්‍යේෂ්ට නිලධාරිණියක් පැවසුවේ එය ලබාගත නොහැකි බවයි. හේතුව වශයෙන් දැක්වූයේ පැය 8ක් සේවය කලද දිවා ආහාරය සඳහා පැය භාගයක් කපාදැමූ විට සේවයේ යෙදී ඇත්තේ පැය හතහමාරක් බවයි.(සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙකුට පැය භාගයක කාලයක් දිවා ආහාරය සඳහා ලැබේ-ඇතැමුන් මෙය නීති විරෝධීව පැය 2ක් පමණ හිතුමතේ දීර්ඝ කරගනී). ඉන්පසු මා විමසූයේ එවන් නීතියක් ඇත්තේ කොහේද යන්නයි. ඇය ප්‍රකාශ කලේ එවන් නීතියක් දිගටම කාර්යාලය තුල තිබූ බවයි. අදාල නීතියට මා විරුද්ධ බවත් අවශ්‍ය නම් අමාත්‍යාංශයෙන් විමසන ලෙසත් ආදී දීර්ඝ කරුණු දැක්වීම නොවන්නට අදද එම අනවශ්‍ය නීතිය ක්‍රියාත්මක වේ.

මේ පසුගිය දිනක සිදුවූ සිද්ධියකි. මා එදින කාර්යාලයේ යම් නිලධාරීන් තිදෙනෙකු සඳහා, පෞද්ගලික ආයතනයකින් රබර් මුද්‍රා තුනක් සාදාගෙන ආවෙමි. ඊට අදාල මුදල ගෙවීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් කරුණු සමඟ වව්චරය ඉදිරිපත් කලෙමි. එක් නිලධාරිණියක් සමඟ ඉන්පසු ඇතිවූ කතාබහ මෙසේය,

නිලධාරිණිය: රාජ්, හදපු සීල් තුන මේ බිලට ගහල එවන්න. නැත්තං බෑ.

මම: ඇයි?

නිලධාරිණිය: සීල් හැදුව කියල කියන්න සීල්ටික මේකට ගහන්න ඕනනේ. ගහල ගේන්න.

මම: ඒක කරන්න බෑ. හදිසියටනෙ සීල්තුන හැදෙව්වෙ, ගෙනාපු ගමන් පොතේ දාල අදාල අයට දුන්න.

නිලධාරිණිය: ඇයි සීල්තුන වව්චරේට ගැහුවෙ නැත්තෙ‍?

මම: ඒ මොකටද? වව්චර්එක හරියට හදල නං, බිල ඉදිරිපත් කරල තියනව නං, සීල් හරියට පොතෙන් භාරදුන්න කියල අත්සන් කරල තියනව නං, තවත් මොනවද? හරි, සීල් 10ක් 15ක් හදාගෙන ආව වෙලාවක ඒ ඔක්කොම ගහන්න ඕනද? (සභාවේ සිනා)

නිලධාරිණිය: නෑ. කලින් එහෙමයි කලේ.

මම: එහෙම කරන්න ඕන නෑ. මතකද මේ ලඟදි මොකද්දෝ සමිතියකට වතුර ටැංකියක් අරං දුන්න? එතකොට ඒ වවුචරේට වතුර ටැංකියෙ පොටෝ කොපියක් අමුනන්න ඕනවෙයිද? (තදින් සිනා)

නිලධාරිණිය: හරි හරි එහෙනං දාන්නං.

කතාබහ එපමණකින් අවසන් කිරීමට ලැබීම වාසනාවකි.

ගෞතම බුදුන්වහන්සේ පවා වදාලේ "අතීතයේ සිට පැවත එන යම් දෙයක් වුවත් කල යුත්තේ නුවණින් විමසා බැලීමෙන් පසුව" බවයි. මිනිසාට වඳුරන්ගේ තත්වයෙන් ඉහලට පැමිණිය හැක්කේ එවිටය.

Saturday, August 11, 2012

මා දුටු ඔලිම්පික්.

මේ සැරේ ඔලිම්පික් නං හරියට බලාගන්න බැරිවුනා. හරියට කිව්වෙ සජීවීව. යූ ටියුබ් ඔලිම්පික් විකාශයට පින් සිද්ධ වෙන්න ටීවී චැනල් කාරයන්ගෙ ආඩම්බර බලන්නෙ නැතිව කැමති තරග ඉසව් ටික බලන්න ලැබුන එකත් ලොකු දෙයක්.

මේ මොහොත වනවිට අංක එක ස්ථානය දිනාගැනීමට ඇ.එ.ජ. සහ චීනය අතර තියෙන්නෙ තියුණු තරගයක්. ඒ වගේම තමුංගෙ රටේ වාසිය අත්කරගත්ත බ්‍රිතාන්‍යයන් තුන්වැනි ස්ථානය දිනාගෙන තියනව. තමුන් දක්ෂ ක්‍රීඩා ඉසව් වලදි (රග්බි ලෝක කුසලානය වගේ) වෙනවෙනම තරග කරනත් අවාසිදායක තැන්වලදි එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය එකතුවෙලා තරග වදින්නත් එයාල කටයුතු කරනව. රග්බි ලෝලිය වෙච්ච මට ඔලිම්පික් වල රග්බි නැතිවීම නං හෙනම පාඩුවක්. අනෙක් අතට රටවල් හැත්තෑවකටත් වැඩිය ක්‍රීඩා කරන, ලෝක කුසලානයක් පවත්වන ඒවගේ ඉසව්වක් නැතිව තිබීම පුදුමය දනවන්නක්. ඔක්කෝටමත් වැඩිය වෙඩිතැබීම වගේ මෙලෝ රහක් නැති ඉසව් ඔලිම්පික් වලට ගෙනාවෙ කවුද මංද! :)

මෙදා සැරේ ඉස්සරහට ආව අනිත් රට තමයි දකුණු කොරියාව. ජර්මනිය ප්‍රංශය ජපානය වගේ රටවල් පරද්දගෙන ඇවිල්ල රුසියාවට ගේම දෙන්න ලැහැස්ති වෙලා ඉන්නෙ. දකුණු කොරියානුවන්ගේ පසමිතුරු ඥාතියා වෙච්ච උ.කොරියාවත් රන් පදක්කම් 4ක් දිකල තියනව. රටවල් 70ක් විතර කුමන හෝ පදක්කමක් දිනල තිබුනත් අපේ රට ඉස්සරහින් තියෙන්නෙ බින්දු ටිකක් විතරයි.

තරගාවලියට කලින් මම දැක්ක සෝමාලි‍යාවෙන් ක්‍රීඩකයන් දෙන්නෙක් ඔලිම්පික් සුදුසුකම් ලබල තියනව. ඔවුන් දෙදෙනා සමඟ නිලධාරීන් දෙතුන් දෙනෙක් යනවත් දැක්ක. අපේ රටෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුයි නිලධාරීන් තිහක්ද කොහේදැයි ගිහිං තිබුන. කොහොම උනත් අන්තිමට සෝමාලියාවටත් අපිටත් පදක්කම් නැතත් සෝමාලියාව දිනල කියල හිතෙනව. :)

ඔලිම්පික් කියන්නෙ ලෝකයේ හොඳම ක්‍රීඩක නියෝජනයනේ. එතනදි දිනන්න පුළුවන් දක්ෂයටම විතරයි. ඒ ඒ ක්‍රීඩාවන්ට දක්ෂකම් පෙන්වන ක්‍රීඩකයන්ගේ ශරීර දිහා බැලුවම අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් තියනව. ඒ තමයි කොච්චර උනන්දුව තිබුනත් අපිට දිනන්න අපහසු ඉසව් තියනව කියනඑක. උදාහරණයක් විදියට කෙටිදුර දුවන්න පුළුවන් කැරිබියන් ප්‍රදේශවල උදවියට. (ඇමරිකාවෙ, එංගලන්තෙ සමහර දක්ෂයන්ගෙත් මුල් විහිදිලා තියෙන්නෙ ඒ කලාපයට. ඒ වගේම සුසන්තිකා වගේ කෙනෙක් ලංකාවෙන් හමුවීම මම දකින විදියට අහම්භයක් විතරයි කියලත් කියන්න ඕන). ඉතිං අපිට කරන්න වෙන්නෙ අපිට සුදුසු ඉලක්කයට වෙඩිතැබීම වගේ ඉසව් කෙරෙහි වැඩි අවධානය යොමුකිරීම. නැත්තං පදක්කම් දිනනව බොරු.

මේ සැරේ ඔලිම්පික් වල ජයග්‍රාහී ක්‍රීඩකයා කවුද? උසේන් බෝල්ට්ද, නැත්තං ෆෙල්ප්ස්ද? මගේ නං තේරීම ඔය එක්කෙනෙක්වත් නෙවේ. එයා තමයි ඔස්කාර් පිස්ටෝරියස් (oscar pistorius). පදක්කම් එකක්වත් දිනුවෙ නැති වුනත් කකුල්දෙක වෙනුවට බොරු කකුල් දෙකක් දාගෙන පැරාලිම්පික් තරගාවලියෙන් ඔලිම්පික් වලට එන්න සටන් කරල අවසානයේ ඔලිම්පික් නියෝජනය කරල මීටර් 400 තරගයේ අවසාන පූර්ව වටයටත් ආපු ගමන අඩුවෙන් තක්සේරු කරන්න පුළුවන්ද?

පිරිමි මීටර 100, 200 දෙකමත් කාන්තා මීටර 100ත් ජැමෙයිකාවට ගෙනයන්න ඔවුන් සමත් උනා. ඒ වගේම 100*4ත් ඔවුන් ජයගන්න ඉඩ තියනව. තවදුරටත් කෙටිදුර ධාවනය ඇමරිකානුවන් අතේ නැති බව පෙන්වන්න හොඳ උදාහරණයක්. ඒ වගේම ඇමරිකාවට සංක්‍රමණය වන කැරිබියන් දූපත්වාසී ධාවකයන් පසුගිය කාලෙ අඩුවුනා.

තරගාවලියෙ ශූරයන් තෝරන ක්‍රමය ගැනත් කියන්න ඕන. මම දන්න තරමින් ඒක කරන්නෙ රන් පදක්කම් ගනන අනුව.(දත් අයෙක් නිවැරදි කරත්වා). ඒත් ඒක ටිකක් අවාසියි. මොකද අනෙක් පදක්කම් වලට වටින කමක් නැති වෙනව. මේකට විසඳුමක් දෙන්න ලංකාවට භාරදෙන්නයි තිබුනෙ. එතකොට ජ්‍යාමිතික සූත්‍රයකින් හරියටම ජයග්‍රාහකයා තෝරන්න තිබුන. නැද්ද මං අහන්නෙ.

අන්තිමට කියන්න තියෙන්නෙ වැදගත් කාරණාවක්. ඒ තමයි ඔලිම්පික් වලට පස්සෙ මතුවන තහනම් උත්තේජක කේස්එක. ඕනෑම ක්‍රීඩකයෙකුට ඔලිම්පික් පදක්කමක් දිනනව කියන්නෙ රටක් රාජ්‍යක් දිනුව වගේ තමයි. ඒ වගේම ජයග්‍රාහි අවස්තාව කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටුදායක මොහොතක්. ජයග්‍රහණයක් වෙනුවෙන් තමන්ගෙ රටවලින් විවිධ වරප්‍රසාදත් හිමි වෙනව. වැරදිලාවත් දිනපු කෙනෙක් තහනම් උත්තේජක අරගෙන තිබුනොත් මොකද වෙන්නෙ. එයාට නැති වෙන්නෙ පදක්කමයි කලකට තරග කිරීමේ අවස්ථාවයි විතරයි. ඒත් ඒ ජයග්‍රහණය ඇත්තටම අයිති කෙනාට ඒ අවස්ථාවේ ලබන්න තියන සතුට සම්පූර්ණයෙන්ම අහිමි වෙනව. පසු අවස්ථාවක ලැබෙන පදක්කමකින් මොකද්ද ඇති පලේ. හොඳම උදාහරණය සුසන්තිකා. ඇය‍ගේ ලෝකඩ පදක්කම රිදී බවට පත්වුනේ කොච්චර කාලෙකට පස්සෙද. මේ නිසා තමන්ට ලැබෙන්න තිබුන සමහර දේවල් නැතිවෙන්න ඇති. ඔන්න ඔය කාරණාව නිසා හිතාමතා තහනම් උත්තේජක ගන්න ක්‍රීඩකයන්ට බුරුලක් දෙන්න නරකයි. මගේ අදහස නං සිර දඬුවමක් පවා හිමිවෙන්න ඕන. අනෙකාගේ අයිතීන් නැති කිරීමේ වරදට.


Thursday, August 9, 2012

කොර වෙන්න ප්‍රශ්න අසා බිම් මට්ටමට බැසීම.

දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටුවලට ජනාධිපතිතුමාගේ සපැමිණීම මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවකි. විශේෂයෙන්ම මෙම කාර්යයන් සමඟ බැඳී පවතින කාර්යාලවල නිලධාරීන්හට එතුමාගේ පැමිණීම විශේෂ සිද්ධියක් වන අතර වෙනදාට නැති අමුතු සූදානමකින් කමිටු රැස්වීම සංවිධානය කිරීමටද සිදුවේ. "දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටුව" යනු, සරළව කිවහොත් යම් දිස්ත්‍රික්කයක සංවර්ධනය වෙනුවෙන් ගනුලැබූ ක්‍රියාමාර්ගයන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගනු ලබන ස්ථානයයි. ගම්බද මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමේ සිට ඉහලට විහිදීයන ඕනෑම සංවර්ධන කටයුත්තක් මෙහිදී සාකච්ඡාවට ගතහැකිය (දිස්ත්‍රික් මට්ටමින්).

සාමාන්‍යයෙන් දිස්ත්‍රික්ක‍යේ පරිපාලන ප්‍රධානියා වන දිස්ත්‍රික් ලේකම්වරයාද ඔහු යටතේ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන්ද අනෙකුත් රජයේ ආයතන ප්‍රධානීන්ද වගකිවයුතු විශේෂ නිලධාරීන්ද රාජ්‍ය අංශය නියෝජනය කරන අතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ අනෙකුත් මහජන නියෝජිතයන් අනෙක් පාර්ශවයෙන් සහභාගී වේ. ජනාධිපතිතුමා සහභාගී වන්නේ මෙම රැස්වීමටය.

යම් යම් ස්ථානයන්හි සිදුවී ඇති ප්‍රශ්න ගැටළු අක්‍රමිකතාවයන් පිලිබඳව ජනපතිතුමාගේ ප්‍රශ්න කිරීම් වලින් නිලධාරීන් මවිතයට පත්වන අයුරු දැකීම ස්වර්ණවාහිණී වැනි මාධ්‍යන්ට මාරම නිව්ස් එකකි. සමහර අවස්තා වලදී ප්‍රශ්න කිරීමට අමතරව ජනපතිතුමා නිලධාරීන්ට පොඩිපහේ "තගක්" දමන අයුරුද දකින "හුදී ජනතාව" සාධුකාර දෙන්නේ නැතිවා පමණය. "ලොක්ක ඇවිල්ල ඇහුවෙ මාර ප්‍රශ්න ටිකක්නේ..... බලන්න එතුමා අහවල් ගමේ කොන්ක්‍රීට් පාර ගැන ඇහුවම ........ මහත්තයට කට උත්තර නැතිවුනා...." වැනි කතා මෙහිදී සුලභය.

ශීර්ෂයෙන් සිටගනු වෙනුවට දෙපයින් සිටගෙන ප්‍රශ්නය දෙස බැලුවහොත් මෙහි ඇත්තේ කුමක්ද? එක්පසෙකින් රටේ ආර්ථිකය බින්දුවට වැටී ඇති අතර ඇමතිවරු තමන්ගේ කාර්යන් නිසි පරිදි ඉටු නොකරන වටපිටාවක් තුල අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිබල, වෙළඳ-පාරිභෝගික.... ආදී අමාත්‍යාංශ බරපතළ අර්බුද වල ගිලී පවතී. මේ, තම අමාත්‍යාංශයේ වගකීම් හඳුනා නොගත් ඇමතිවරුන් රටේ ස්වෛරීත්වය වැනි අනෙකුත් ප්‍රශ්න ගැන සංවේදී වන වටපිටාවකි. ඔවුන් තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන බව, ජනාධිපතිතුමාට මෙවැනි සිල්ලර රැස්වීම් වලට සහභාගී වීමට සිදුවීමෙන්ම පැහැදිලිවේ.
අනෙක් පැත්තෙන් රජයේ සේවකයාගේ සිට මහජන නියෝජනයේ ඉහලම පුරුක් දක්වා සිදුකරන දූෂණයන්ට එරෙහිව පියවර ගැනීමට තරම් ශක්තිමත් නීති පද්ධතියක අඩුපාඩුව පවතී. මේ පිළිබඳව වගකිව යුත්තන් සිටින්නේ නෑසු කන් ඇතිවය. ජනාධිපතිතුමා රැස්වීමට සහභාගී වන්නේ මෙවැනි වටපිටාවක් තුලය.

ඉන්පසු කතාකලයුතු වැදගත්ම අංශය වන්නේ මෙම රැස්වීම් වලදී සියයට අනූවකම අවධානය යොමුවන, ජනාධිපතිතුමාගේද ප්‍රශ්න වලට මුල්වන "සංවර්ධන ව්‍යාපෘති" හෙවත් සියල්ලන්ම දන්නා කියන භාෂාවෙන් කිවහොත් "කොන්ත්‍රාත්" පිළිබඳවය. ගමේ පාරට දමන කුඩා බෝක්කුවේ සිට සියළු කොන්ත්‍රාත් පිරිනැමෙන්නේ දේශපාලන ආශීර්වාදයෙනි. කොටින්ම ඡන්දයේදී උදව් කල සහ ඡන්දයෙන් පැරදුන හෝ ජයගත් දේශපාලන හෙන්චයියන්ටය. එහෙත් අදාල කටයුතු පිලිබඳ අධීක්ෂණය කලයුත්තේ-අවසාන තීරණ ගතයුත්තේ- රජයේ නිලධාරීන්ය. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරදමා රාජ්‍ය සේවකයාගේ කොඳුනාරටිය බිඳදමා ඇති මෙවන් වකවානුවක දේශපාලන බලය අත දරාගත් හෙන්චයියන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කරන නිලධාරීන්ට ලැබෙන්නේ දඬුවම් මාරුවීම්ය, මැර තර්ජනයන්ය. ජනාධිපතිතුමා සහභාගී වන්නේ මෙහෙව් රැස්වීමකටය.

සටහන අවසන් කිරීමට මත්තෙන් මාතෘකාවට අදාල කතාවක් සඳහන් කරනු කැමැත්තෙමි.
ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එක්තරා ආයතනයකට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස ප්‍රේමදාස ජනාධිපතිතුමා වරක් තම ලේකම් වරයෙකුට (ඔහුගේ නම සිල්වා යයි සිතමු) නියෝග කරන ලදී. ලේකම්වරයා ඉතා වගකිවයුතු අයෙක් වූ අතර ජනපතිගේ සමීපතමයෙක් විය. ඔහු ක්ෂණිකව රිසීවරය ගෙන "මතකයෙන්" අදාල අංකය ගසා ඇමතුම ගෙන ජනාධිපතිවරයාට දුන්නේය. ඇමතුමෙන් පසුව හිස දෙසට දබරැඟිල්ල යොමුකල ප්‍රේමදාස ජනාධිපතිවරයා පැවසුවේ "සිල්වා මේක තියෙන්නෙ ඔයවගේ නොවැදගත් දේවල් මතක තියාගන්න නෙවේ" යන්නය.


ඉංජිනේරුවා පෙදරේරුවාගේ කාර්ය නොකල යුතුවාක් මෙන්ම, ජනාධිපතිතුමා කලයුතු වන්නේ තමා "බිම් මට්ටමටම බසින" නායකයකු බව පෙන්වීමට මෙවන් රැස්වීම්වලට කඩාපැන සිල්ලර ගනයේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව සියළු අකටයුතුකම් නවත්වාලීමට ක්‍රමවේදයක් සැකසීමය. එවිට ජනප්‍රසාදය නිරායාසයෙන්ම ලැබෙනු ඇත.


Sunday, August 5, 2012

යටත්වැසියාගේ ලියුං කරදහිය.

අතිගරු උතුමානන් වෙත ගෞරවයෙනි!

අතිගරු උතුමානනි,

ඔබතුමාගේ රට වැසියෙකු ලෙස, මාත්රූ බූමියේ උන්නතිය උදෙසා හෙජින් සූ ගිවිසුම සම්බන්ධයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

# ගිවිසුම සම්බන්ධයෙන් එවකට අමාත්යධූරය දැරූ ගරු පවුසි මැතිතුමාත් ඉන්පසු අමාත්‍යංශය භාරගත් ඇමතිවරුනුත් වරදකාරී නොවන්නාහ. හරිද මංද තවද තෙල් සංස්තාවේ සබාපතිතුමා, කබරාල්, පීබී වැනි මහත්වරුන්ට නිරපරාදේ එල්ලවන චෝදනා, පුවත්පත්, වෙබ්-බ්ලොග් වාර්තා, නැවැත්විය යුතුය.(මේ සඳහා අවශ්‍යනම් ගෝටාබය මහතාගේ මැදිහත්වීම සුදුසු බව යෝජනා කරමි).

# මාගේ හැඟීමේ හැටියට මෙම දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කිරීමට මුල්වන්නට ඇත්තේ තෙල් සංස්ථාවේ සේවය කරන ලිපිකරුවන් දෙතුන් දෙනෙකු සහ කාර්යාල කාර්ය සහායක වරයකුය.

# උක්ත කාල සීමාවේදී සංස්තාවේ/අමාත්යංශයේ සේවකයන්ගේ සැක කටයුතු හැසිරීම් ගැන සොයා බැලීමෙන් (උදා: වැඩිපුර කිරිපිටි ගෙනයන්නේ කවුද, දවල් බත්එකට මස් මාළු ගේන්නේ කවුද ආදිය) වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකරගත හැකිය.

# ඉන්පසු ඔවුන්ට දැඩි දඬුවම් ලබාදියයුතු අතර අවධාරණයෙන් මතක් කරන්නේ වෙනත් කාර්යාල වලට මාරුකර යැවීමෙන් පමණක් අයහපතක්ම වන බවය.

# මේ පිටුපස සිටින දුෂ්ට (බටහිර) බලවේග පිලිබඳව සොයාගැනීමට ගරු ලෙම නිවාස අමාත්යතුමාට භාර කරන මෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිමි.

# එංගලන්තයේ(අධිරාජ්යවාදී) අධිකරණයෙන් නියෝග කල පරිදි අදාල බැංකු වලව වන්දි ගෙවන ලෙසත්, නඩු තීන්දුවට එරෙහිව ඇපිල් නොකරන ලෙසත්, ඉල්ලා සිටින්නේ, අප ඔවැනි සොච්චම් මුදලක් ගෙවාගත නොහැකි ජාතියක්දැයි සිතීම වැලැක්වීමටය. අනෙක් අතට ඇපිල් කලහොත් මීට වගකිවයුතු (ඉහතින් සඳහන් කල) ලිපිකරුවන්/කාකාස.යන් රජයේ මුදලින් පිටරට ගොස් හෝටල්වල සූර්වී තට්ටු උඩින් ඇදවැටුනහොත් එහි අගෞරවයද අපේ මාතෘ භූමියටමය. (ඇරත් කොහොමත් ඕකුං බේබද්දෝය)

# වන්දි ගෙවීමට මුදල් නොමැතිනම් ඉරානය චීනය වැනි හිතවත් රටවලින් ණයමුදලක් ලබාගැනීමට යෝජනා කරමි.

# එම ණය ගෙවීම සඳහා ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් වලින් පිලිවෙලින් ලීටරයකට රුපියල් පුංචි රුපියල් 20ක් 35ක් හා 40ක් වැඩිකිරීමට යෝජනා කරන අතර පෞද්ගලික බස් ගාස්තු-මාළු මිල ඉහලයාම වැලැක්වීමට සහනාධාර ක්‍රමයක් යෝජනා කරමි.

# විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට ගෙවියයුතු සියළු මුදල් සතියක් ඇතුලත ගෙවීමට අණ කරන මෙන් යෝජනා කරමි. මේ නිසා විදුලිබල මන්ඩලය අසීරුවට පත්වේයයි අනවශය බියක් ඇති කරගතයුතු නොවන්නේ විදුලි ඉංජිනේරුවකු සහ පාඩු ලබන අමාත්‍යංශ ලාභ ලබන තත්වයට ගෙනආහැකි ඇමතිවරයෙකු සිටින ජාතියේ වාසනාවට සිටින නිසාවෙනි. මළ මල නොතලා පැණි ගන්නා බඹරා මෙන්, විදුලි බිල සංශෝධනය කිරීමටත්, එහෙත් ජනතාව මත බර පැටවීම වැලැක්වීමටත් එතුමා කටයුතු කරනබව ම‍ගේ විශ්වාසයයි.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් හෙජින් සූ ගණුදෙණුවේ පාඩු පියවාගත හැකිය.

තෙරුවන් සරණයි!
මෙයට,
යටත්වැසියා.

ප.ලි.- කුමන ප්‍රශ්න තිබුනද එන චන්දයේදීත් අපි ඔබතුමා සමඟ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ යයි සිතමි.


Thursday, August 2, 2012

නීති විරෝධී මුදල් ආයෝජන ක්‍රමයකට හසුවී නූලෙන් බේරුනෙමි!

නීති විරෝධී මුදල් ආයෝජනක්‍රම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සක්විති අයියයි පියදාස(දඞුවම්) අංකොලුයි ඕක ගැන රටටම කියල දුන්නනේ. ‍සීට්ටු කියන්නෙත් ඔයවගේම ක්‍රමයක් තමයි. විශ්වාසය උඩ ගනුදෙණුව සිදුවෙනකල් හොඳයි. නැත්තං සොරි. සීට්ටු ගැන අපේ මාරය පෝස්ටු ගනනාවක් දාල තිබුන. මේ මගේ අත්දැකීමක්.

පහුගිය දවසක උදේ 9ට විතර කාර්යාලයේ ඉන්න වෙලාවෙ මට කෝල් එකක්! වෙන කාගෙන්වත් නෙවේ, නෝනගෙන්. මුලින්ම කියන්න ඕන මේ සංවාදයේ රතුපාටින් දාල තියෙන්නෙ මම හිතන දේවල් මිසක් කියන දේවල් නෙවේ කියල. නෝනගෙ වචන නිල් පාටිනුත් මගේ වචන තදකළු පාටිනුත් තියෙන්නෙ.

කෑවද? බිව්වද? කෑම රසද? ඔක්කොම කෑවද?....... වගේ ෆුල්ටොස් පන්දු අවසානයේ නෝනගෙන් බවුන්සර් එකක එල්ලවුනා.

"මේ...... අයියේ,....(ඒකාලෙ අයිය කිව්වඑක තාමත් "අයිය" බව කියන්නත් ඕනද?) සීට්ටුවක් තියනව අපිත් දාමුද?"

"හපොයි මට නං බෑ! මොකද්ද ඇති වැඩේ?"

"ඔන්න බලන්න ගාන කීයද කියලවත් ඇහුවෙ නෑ බැ: ගානව"

"කීය උනත් මට බෑ"

"රුපියල් පන්දාහයි. ඔයා දෙදාහක් දෙන්න"

"ඒත් බෑ"

"අනේ එන්නකො. ලක්ෂයක් විතර ලැබෙනව"

"මොන මඟුලක්ද? බෑ කියල කිව්වනේ" "සල්ලි තියනවනං සීට්ටු දාන්න ඕනයැ. බැංකුවෙ දාන්න බැරිය"

"අනේ ඔයා දාන බැංකුව!"

"එහෙනං එනව නේද?"

"එනව නේද?"

"එනව නේද?"

..........

..........

මොන කරදරයක්ද!

..........

..........

..........

රුපියල් දෙදාහයිනේ. නොදුන්නොත්,

"උදේ බත්එකේ හොදි අඩුවෙන්න පුළුවන්"

"දවල් බත්එකේ තියන මාලු කෑල්ල, බිත්තරේ නැතිවෙන්නත් පුළුවන්"

"ගෙදර ආව ගමන් ලැබෙන තේ එකේ සීනි, පිටි අඩුවෙන්නත් පුළුවන්"

"රජතුමා තරහවුනාට වැඩිය හපං"


........................

........................

........................

........................

"හරි. මම දෙදාහක් දෙන්නං"


*****************************************************************

එදින සවස

"අයියේ, අපි එක"

"මොකද්ද?"

"සීට්ටුවෙ අංක එක අපි"

"හා.... දැන් සල්ලි ලැබෙනවද?"

"නෑ එක කිව්වෙ සීට්ටුව දානකෙනා අතහැරල. අපිට ලැබෙන්නෙ දෙවනි මාසෙ"

"හා"

පලමු මාසෙට 2000ක් ගෙව්ව. දෙවනි මාසෙ මගේ ගාන අතට ආව. මම ඒක නෝනගෙ අතට දුන්න.

"මෙන්න ඉස්සරහ මාස ටිකට ගෙවන්න තියන මගේ සල්ලි!"

"ඇයි"

"මගේ ලඟ තිබුනොත් ඉවර වෙනව, මේක ඔයා තියාගෙන 2000 ගානෙ ගෙවන්න. හරිනේ"

"%$^%%@@%$%$&$&^$@%@^%$&^&%**&*$"

අන්තිමේදි මම නිදහස් වුනා.