Friday, September 30, 2011

ගවමාංශ ප්‍රශ්නය කෙසේද යත්,.....

මිතුරෙකු විසින් නිර්මිත "කාල යන්ත්‍රයේ" පරීක්ෂණ වාරයට සහභාගී වූ මා ක්ෂණයකින් අදින් වසර දහස් ගනනක් අනාගතයට පැමිණ, ලද සුළු ඉසුඹුවකදී සයිබර් පුස්තකාලයකට ගොඩවැදී එහි වූ ලියමන් කියවීමේදී මෙම කථා වස්තුව මාහට හුරුපුරුදු බවක් හැගී ගියෙන් එය බාගතකොටගෙන වර්තමාන බ්ලොග් කියවන්නන්ගේ ප්‍රසාදය සදහා ඉදිරිපත් කරමි. ****************************************************************
යටගිය දවස ශ්‍රී ලක් නුවර සත්වැනි මිහිදු රාජ තෙමේ සිය සහෝදර-පුත්‍රාදීන් සමග දැහැමෙන් සෙමෙන් රාජ්‍ය විචාරන කල්හි එනුවර මහත් වූ ප්‍රශ්නයක් පැන නැංගේය. ඒ තුමක්ද යත් මෙනුවර වැස්සන්ගෙන් ක්ෂුද්‍රවූ කොට්ඨාසයක් ගවයන්, එළුවන් ආදී සත්වයන් ඝාතනය කොට එම මාංශයෙන් කාලිමෑනියන්ට බිලිපූජා පවත්වා ඔවුන්ද එම මාංශයෙන් සංතර්පනය වීමයි. අවිහිංසාව ධර්මයෙන් පෝෂණය වී ඇති මෙනුවර වැස්සන් බොහොමයක් ගව මාංශය පිළිකේව් කලද සූකර, එළු, කුකුළු ආදී මාංශයන්ද සාගරයේ හෝ ඇල, දොල, විල් ආදියෙහි වෙසෙන මත්ස්‍යයන්ගේද මාංශය පිළිකේව් නොකරන්නාහ.
ගවමස් පමණක් අනුභවය නවතනු වස්, මිහිදු රාජෝත්තමයන් වහන්සේ තම එක්සියයක් පමණ වූ අමාත්‍ය මණ්ඩලය සහ විවිධ අවස්ථාවන්හිදී පත්කලමුත් සංඛාවෙන් තමාටත් අවිනිශ්චිතවූ කීමෙහි බිණීමෙහි දැණුමෙහි සමත්, උපාය උපාය දත් පුරෝහිත පිරිස තමා අභිමුවට කැදවා ප්‍රශ්නයට විසදුම් ලබාදෙන මෙන් දැන්වීයැ.
එවිට නැගිට සිටි එක් පුරෝහිතයෙක් "දේවයන් වහන්ස, අපි ගෝ ඝාතනය තහනම් කරමු" දැයි යෝජනා කල අතර රජතුමා ඊට උරණ වූයේ එය ප්‍රජාචන්ත්‍රවාදී පාලනයට එකග නොවන බව පවසමින් වූ අතර එම පුරෝහිතතෙමේ මුඛ පූට්ටු කරගත්තේය. අමාත්‍යවරුන් හා පුරෝහිතයන් මෙවන්වූ විවිධ අනුචිත යෝජනාවන් තරගයට මෙන් සභාවට ඉදිරිපත් කල අතර ඒ සියල්ල රජතුමාගේ පිලිකේව් කිරීම මත හිරු දුටු කදෝපැණියන් මෙන් නිෂ්ඵලත්වයට පැමිණීය.
අවසානයේ කල්‍යාණි ජනපදයට අධිපති දුටුගැමුණු පරපුරේ චණ්ඩාමර්වින් අමාත්‍යතුමා කියා සිටියේ තමාට ගවමාංශ ප්‍රශ්නය නිසිපරිදි විසදීයහැකි බවත් ඊට ගෞරවණීය සත්වැනි මිහිදු රාජෝත්තමයානන් වහන්සේගේ අවසරය අපේක්ෂා කරන බවත්ය.
"තමාගේ යෝජනාව නොවලහා ඉදිරිපත් කරව"යි රජතුමා කියූකල,
"මහ රජතුමනි, ගවමාංස සදහා වන කහවණු දශලක්ෂයක් පමණ වන 'ප්‍රසම්පාදනය' මා, මාගේ භාණ්ඩාගාරයෙන් මිලදීගන්නෙමි. එතකුදු වුවත් එක් ගව මයිලයකටවත් හාණියක් නොකරන්නෙමි. මෙලෙසින් මේ සභාවෙහි සිටින අමාත්‍ය-පුරෝහිතාදීන් තම භාණ්ඩාගාරවල ඇති කහවනු යොදා එක් එක් ජනපදවල ඇති 'ප්‍රසම්පාදනයන්' මිලදීගත් විට ප්‍රශ්නය විසදේ. අනෙක් අතට ඌරන්, කුකුළන් ආදී ගොඩබිම ජීවත්වන සතුන්ද, මත්සයින් ආදි ජලජ සත්වයන්ද වැඩිවූ විට සුන්දර පරිසරය දූෂණය වී අප නුවර දුර්ගන්ධය පැතිරේ. එබැවින් උන්ගේ මාංස අනුභව කලාට වරද නැත" යනුවෙන් ප්‍රකාශකර සිටියේස.
මීට මහත් ප්‍රසාදයට පත් මහරජා‍නන් වහන්සේ "තොපගේ යෝජනාව ඉතා අගනේය, තොප වැන්නවුන් සිටීම මාගේ රාජ්‍යට මහත් ආඩම්බරයක් බවද..." ආදී ලෙසින් ඔහු පසෙසා ඔහුගේ යෝජනාව අනුව කටයුතු කරම්වැයි අන්‍යන්ටද පවසා රාජ සභාවේ කටයුතු අවසන් කලසේක.
ඉන්පසු ශ්‍රී ලක් නුවර ගවමාංස අනුභවය සදහටම නැවතිනි. තවද එපුරය වඩාත් දැහැමි, සෞභාග්‍යවත් වූ අතර මනුශ්‍යයන් මෙන්ම ගවයන්ද රිසිසේ තම වර්ගයා බෝ කරගෙන අඹුදරුවන් සමග සතුටින් දිවිගෙවූහ.

18 comments:

  1. ලොල්..ලෙසටම ලියල තියනවා!

    ReplyDelete
  2. Sabith
    බොහොම ස්තුතියි. වෙනසක් කරන්න හිතුනා.

    ReplyDelete
  3. ගව මාංශ ප්‍රෂ්නය විසඳූ අයුරු අගනේය, එසේම ලේඛකයා එය මතු පරපුර සඳහා සය්බර් අවකාශයේ ලේඛනගත කල අයුරු ඊටත් අගනේය....

    ReplyDelete
  4. සත්වැනි මිහිදු රජුගේ ගව මහීෂාදී ප්‍රශ්නය කෙසේද යත්....
    අගනේයැ, වටනේයැ, ලොල්මයැ, තවදුරටත් කියනවානම් පට්ටයැ....

    ReplyDelete
  5. Observer
    ආ...ඔබා අයියාමාමා මේපැත්තට ඇවිල්ලා.
    මේකයි අයියේ, ඕක අනාගත සයිබර් අවකාශෙ තිබුනු එකක්.මම ගිහිල්ලා බාගත්ත හින්දා කියවන්න ලැබුනෙ..:D

    ReplyDelete
  6. වෙද ගෙදර මහ වෙදනා
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. මම බැලුවා ඒත් හැක්වුනාවත්ද කියලා.

    ReplyDelete
  7. හොද වෙලාවට කැළණි පුරයට අරක් ගත් චණ්ඩාමර්වින් ඇමති තුමා හිටියේ. නැත්නම් වෙන්න ගියේ මහ විනාසයක් නේ.

    ReplyDelete
  8. නියමයි නියමයි ඈ ! ඔය ලිවීමේ ස්ටයිල් එක මරයි නොවැ ඉස්කෝලේ යන කාලේ නම් මම ඔය ක්‍රමේට වෛර බැන්ඳා දැන් ආසායි කියවන්න ඔය ක්‍රමේට ..

    ReplyDelete
  9. ඉතා ටොප් භාෂා හැසිරවීමකි!

    ReplyDelete
  10. එල කිරී.............

    ReplyDelete
  11. මධුරංග
    ඒකනෙ ඒකනෙ බුදුබව ලැබෙන්නෝන ඒවගේ උත්තමයන්ට.
    හිස් අහස
    ඒකාලෙ නං මාත් හරිම අකමැතියි. තේරෙන්නෙත් නෑනේ.
    තනි අලියා
    තැන්කූ තැන්කූ...

    ReplyDelete
  12. Raj
    බොහොම ස්තුතියි

    ReplyDelete
  13. 'ප්‍රසම්පාදනයන්' මොකක්ද මේ වචනෙ තේරුම .......

    ReplyDelete
  14. ඒකෙ තේරුම හොද සම්පාදනය
    ප්‍රසම්පාදනය=ප්‍ර+සම්පාදනය=හොද+සැපයීම
    ප්‍රසම්පාදනයට සිංහලෙන් කියන්නෙ ටෙන්ඩර්. දැං හරිනේ..:)

    ReplyDelete
  15. මාත් ට‍්‍රයි එකක් දෙන්න ඔනේ මෙහෙම එක්ක දාන්න... හුක් හුක්...

    ReplyDelete
  16. කියන්න වචන නෑ. සරලවම කිවුවොත් "...එල...."

    ReplyDelete