Monday, October 8, 2012

නීතිය වල්වැදීම.


අද නීතිය ගැන කතාකිරීමට සිදුවන්නේ කරුණු දෙකක් නිසාය‍‍. එකක් අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට එල්ලවූ මැර ප්‍රහාරයයි. අනෙක බ්ලොග්කරුවා දන්නාකියන සිද්ධියක්ය.

නීතියේ ආ‍‍ධිපත්‍යයට තර්ජන එල්ල වූයේ අද ඊයේ සිට නොවේ. නීතිය පිහිටවනු ලැබූ දින සිට එය පවතී. උසාවි වලට- විනිසුරුවන්ට පහරදීම්, බියගැන්වීම්, තර්ජනය කිරීම් ආදිය අතීතයේ සිටම තිබූ දේවල්ය. මේ වනවිට එය උග්‍ර තත්වයට පත්ව ඇත‍. ඇමතිවරුන් විනිසුරුවන්ට තර්ජනය කරති, අධිකරණ සේවා කොමිසටම බලපෑම් ඇතිබව ප්‍රකාශවී මාසයක් ගතවන විට එහි ලේකම්ට මැර ප්‍රහාරයක් එල්ලවී ඇත‍. අනෙක් අතට අධිකරණය සහ පාර්ගිමේන්තුව අතරද ගැටුම්ය.දිවිනැගුම පණත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක වරයාට දැනුම් නොදී පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලබාදීම මීට හේතුවයි.

ලංකාවේ නීතියේ පවතින මූලික අඩුපාඩු කිහිපයකි‍.

යල්පැනගිය යාවත්කාලීන නොවූ නීති.
ඉංග්‍රීසීන්ගෙන් ලංකාවට ලැබුනු නීතියේ යාවත්කාලීය නොවූ තැන් බොහෝ ඇතිබව කියවේ. සමහර වගන්ති නිදහසටත් පෙර තිබූ ඒවාමය. උදාහරණ ලෙස රුපියල් 5-10 වැනි දඩවලට යටත්වන වැරදි අදත් ඇත‍.

නිතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ ‍ඇති දෝශ.
නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින මූලිකම ආයතනය වන පොලිසිය, අධිකරණය තරමටම ස්වාධීන භාවයකින් කටයුතු කිරීම අවශ්‍යය. එහෙත් සෑම කාලයකදීම පාලකයන්ගේ සුරතලෙකු බවට පොලිසිය පත්කරගෙන ඇති නිසා සාධාරණ නීතිය ක්‍රියාත්මක කිරීමක් අපේක්ෂා කල නොහැකිය.

සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවීම
ස්වාධීනත්වයක් නොමැති නීති ක්ෂේත්‍රයක් තුලදී "නීතියට ඉහලින් සිටින්නන්" අනිවාර්ය අංගයකි. මෙහිම අනෙක් පැත්ත වනුයේ පලිගැනීම සඳහා නීතිය යොදාගැනීමේ හැකියාවයි. වරක් වික්ටර් අයිවන් ජාත්‍යන්තර අධිකරණයට ගොස් ලංකාවට එරෙහිව තීන්දුවක් ලබාගත්තේ මේ කාරණාව වෙනුවෙන්ය.

ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂමතාවය
සාමාන්‍ය ජනතාවට වඩාත්ම බලපාන කාරණාව නම් යුක්තිය ප්‍රමාදය නිසා ඇතිවන අපහසුතාවයයි. මෙය නීති ක්ෂේත්‍රයේ අද පවතින බරපතළම අර්බුධයයි. සාමාන්‍යයෙන් ඉතා සුළු කරුණු කාරනා සහිත ප්‍රශ්නයක් විසඳාගැනීමට නීතිය ඉදිරියට ගියහොත් යුක්තිය ඉටුකරගැනීම සඳහා වසර කිහිපයක්වත් ගතවේ. ඉඩකඩම් සම්බන්ධ ප්‍රශ්න විසඳීම සඳහා ගතවන කාලය අතිමහත්ය. සමහර විට පරම්පරා ගනනක් වුවද විය හැකිය. "ඉඩම් නඩු දිනන මිනිහා අඟුරුය, පරදින මිනිහා අළුය" යන දෙමළ කියමන සෑදී ඇත්තේ මෙම අකාර්යක්ෂමතාවය නිසාය.

පසුගිය දිනක වයස අවුරුදු 60ක් පමණ වන මගේ අසල්වැසියෙකු අතුරුදහන් විය‍. වසර පහකට පමණ පෙර සිය භාර්යාව මියගොස් සිටි ඔහු ජීවත් වූයේ තනියමය. පසුව සොයා බැලීසේදී අනාවරණය වූයේ මීට වසර ගනනාවකට පෙර, බිරිඳ ජීවත්ව සිටියදී ඔහුට එරෙහිව කරනලද පැමිණිල්ලක් හේතුවෙන් මොහු අත්අඩංගුවට පත්වී ඇති බවය. ලංකාවේ නීතිය එසේය.
මීට ටික කලකට පෙර අධිකරණවල ගොඩගැසී ඇති ගැටළු කඩිනමින් විසඳීමට යෝජනාවක් ගෙන ආ අතර, "නීතිය රැකගැනීමට" ඕනෑම අවස්ථාවක වීදිබසින-වැඩ වරන ගරුකටයුතු නීතීඥවරුන්ගේ විරෝධය නිසා එය හකුලා ගැනීමට සිදුවිය.

මෙසේ නීතියේ ඇති අඩුපාඩු හේතුවෙන් මතුවන්නෙ බරපතල සමාජ ප්‍රශ්නයන්ය. මෙහි ඇති භයානකම තත්වය වන්නේ නීතිය පිලිබඳ විශ්වාසය බිඳවැටීමයි. එය මේ වනවිට සිදුවෙමින් පවතී. තම සතුරාට එරෙහිව නීතිය ඉදිරියට ගොස් පාරට බැසීමට වඩා කීයක් හෝ වියදම් කර සතුරා ඉවත් කිරීමට පුරුදු වූ අයවලුන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවේ.

මෙම ගැටළුවලට විසඳුම් දියයුත්තේ පවතින රජයයි. එහෙත් ඔවුන් ඒ සඳහා උනන්දුවක් දක්වනු නොපෙනේ. ඒ වෙනුවට අපූරු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. එනම් ආර්ථික අර්බුධ වලින් ගොඩඑනු වස් නීතිය උපයෝගී කරගැනීමයි. වැරදිකරුවන් සඳහා අයකරන දඩ මුදල් වැඩි කිරීමෙන් ප්‍රශ්න විස‍ඳේ යයි සිතන ආණ්ඩුව මට්ටු වනවිට ප්‍රශ්නය බොහෝ ඔඩුදුවා තිබිය හැකිය. මල්වඩම්-මිනීපෙට්ටි රැගෙන එන්නන් සිතිය යුත්තේ එයයි.

28 comments:

  1. රාජ් අයියේ ඔයාගේ සයිට් එකේ දාන පලවෙනි කොමෙන්ට් එක. පොස්ට් එකෙත් එක වගේ. කියවලම ඉතිරි ටික දාන්නම්. :)

    ReplyDelete
    Replies
    1. //මෙහි ඇති භයානකම තත්වය වන්නේ නීතිය පිලිබඳ විශ්වාසය බිඳවැටීමයි. "එය මේ වනවිට සිදුවෙමින් පවතී."//
      සිදුවෙමින් පවතී කිව්වට 80% ක් විතරම ඒක දැන් වෙලා ඉවරයි.

      අකාර්යක්ෂමතාවය නැති ක්ෂේත්‍රයක් රටේ නැති තරම්. මේවගේ වගකීම අනිවා ආණ්ඩුව ගන්න ඕන තමයි. ඒත් මේවගේ අවුල් ජාලයක් කොහෙන් විසඳන්නද කියලා මගේ පුංචි මොලේටනම් තේරෙන්නේ නැහැ. :(
      පොඩි චේන්ජ් එකකටත් එක්ක T20 දිනුවානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවටය.

      ඇත්තටම මේක කියවද්දී මට තව ප්‍රශ්නයක් ආව. මේ කියන ගැටළු තියෙන්නේ අපේ රටේ විතරමද? ඔය දියුණුයි කියන රටවල් වල ඇත්තෙම නැද්ද??

      Delete
    2. මේ පැත්තෙ ආවට බොහොම ස්තුතියි‍.
      දියුණුයි කියන රටවල මේවගේ අවුල් බොහොම අඩුයි. උදාහරණයක් දෙන්නං. මේ අඩවියේ කතන්දර වල සඳහන් වෙච්ච චරිතයක් වුන රවි අයියගෙ මස්සිනා ඉන්නෙ එංගලන්තයේ. එයාගෙ නෝන ඒ රටට ගෙන්නගන්න තිබුන ඉන්ටවීව් එකකින් ෆේල් උනාට පස්සෙ එයා නඩුවක් දැම්ම. මාස 3කින් විතර නඩුවෙන් දිනල නෝනව ඒ රටට ගෙන්වාගන්න එයා සමත් වුනා. ලංකාවෙ ඔය සිදිධිය උනානං අවුරුදු කීයක් යයිද?

      Delete
  2. නීතිඥයත් නඩුකාරයත් එකතුවී නඩුවක පාර්ශවකරුවන් ගසා කෑමත් ලංකාවේ සිදුවන සාමාන්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ දෙගොල්ල අතර සම්බන්ධකම් තියනව.

      Delete
  3. බිඳ වැටෙන්න නිතියක් තියෙනවද? රන් දෙවොල කඩා වැටිලා. එහි දඩාවතේ යන සුනඛයින් පහරලා ඉවරයි. දැන් තියන්නේ වැටත් නියරත් ගොයම් කන කාලේ.

    අපි කුමක් කරමු.... නටමු... ගයමු.... වෙන නීතිය ගැන හැර ඕනෙම දෙයක් ගැන කතා කරමු. එහෙමනන් අධ්‍යාපනය ගැන ..,... අපෝ ඒකත් එපා, එහෙනම් සෞක්‍යය. ඒකත් එපා වගේ.... එතකොට මොනව්ද... ඇයි ක්‍රිකට්.. තව ගැන්ග්නම් අන්න කතා කරන්න මාතෘකා.

    ReplyDelete
  4. J.S.C SECRETARY TA PAHARA DEEMA BATAHIRA KUMANTHRANAYAK KIYALA KIYANNE.

    ReplyDelete
  5. මට නම් තේරෙන හැටියට ආර්ථිකය කඩා වැටීමත් ඇතුළුව අද රටේ තියෙන හැම ප්‍රශ්නෙකටම වගේ මූලිකම හේතුව රටේ විනයක් නැතිකම, නීතිය සැමට සාධාරණව නිසිලෙස ක්‍රියාත්මක නොවීම. වගකිවයුතු අය හැසිරෙන්නෙ කිසිම වගකීමක් නැති ගානට. හැම ක්‍ෂේත්‍රයකම වැරදි පූර්වාදර්ශ. නීතියට ඉහළින් සිටින්නන්ගෙ නොහොත් නීතිය නොතකා කටයුතුකරන්නන්ගෙ සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වෙනව. කොටින්ම ඕනම පොඩි මිනිහෙක් හිතන්නෙ අපිත් හයිය අත්තක් අල්ල ගත්තනම් මෙලහකට වැඩේ කරගෙන කියල. ඒ තරමට නීතිය තුට්ටුවට වැටිච්ච රටක් මේක.
    යුද්ධයෙන් පසු ක්‍රමයෙන් නිවැරදි වියයුතුව තිබුණු බොහෝ දේවල් දැන් තිබුණටත් වඩා අන්ත වෙලාද මන්ද. පහුගිය කාලෙ කොළඹදි මහදවල් මළසිරුරක් පාරක් අයිනෙ පිළිස්සුන. පුද්ගල අතුරුදන්වීම් එන්න එන්නම ඉහළ යනව. ඔවුන්ට මොනව වෙනවද කිසි කෙනෙක් දන්නෑ. තැන තැන නාඳුනන මළසිරුරු. රටේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයෙදි බන්ධනාගාර නිලධාරීන් බාරෙ හිටපු සැකකරුවෙක් නවීන අවි ආයුධවලින් සන්නද්ධ පිරිසක් පැහැරගෙන යද්දි පොලිසිය ඔවුන් හඹායන්නෙ නෑ, ලයිෂන් නැති හෙල්මට් නැති බයික්කාරයෙක් පාරෙ ගියානම් බලන්න තිබුණ පොලිසිය පස්සෙන් පන්නන හැටි. අඩුතරමෙ පොලිසිය ඒ වාහනේටවත් වෙඩි තියන්නෙ නෑ. ඒත් වේලක් නොකා වේලක් කන තමන්ගෙ රස්සාව රැකගන්න, සාධාරණ ඉල්ලීම් දිනාගන්න, ජීවත්වෙන්න විදියක් නැතුව සාමකාමී උද්ඝෝෂණයක්කරන නිරායුධ උද්ඝෝෂණකරුවොන්ට නම් පොලිසිය වෙඩි තියනව, එළව එළව ගහනව. අනේ මන්ද මේ රටට මොනව වීගෙන එනවද කියල.

    ReplyDelete
  6. හිතේ තිබ්බ දෙයක් රාජ් ගේ මේ පෝස්ට් එකට කමෙන්ටුවක් විදිහට දාන්න ලියල ඉවරවෙන කොට ඒක මෙන්න පෝස්ටුවක් වෙලා.

    බොහොම ස්තුතියි මතු කරපු කාරණාවලට.

    ReplyDelete
  7. අපරාධකරුවන් 96% මුදල් අරන් එලියෙ තියන අධිකරණයක් ගැන කවර කතාද. එක්ස්ටසි විකුණන එකා අධ්‍යාපන ඇමති වෙනවා කිව්වෙත් ඕකේ එකෙක්නේ. කුමාරයා තනියෙන් විභාග ලියනවා. මොකාද විරුද්ධ උනේ මොකාද කතාකලේ. ගල් ගැහුවා, මරණ තර්ජන කරා, හා හෝ ගෑවා ඉවරයි... හෙට ඉඳලා, පොඩි මිනිහගෙයි, කුඩුකාරයගෙයි, හොරුන්ගෙයි, සල්ලි ටික හූරගන්නවා කිසි අවුලක් නැතුව. ඔහොම නෙමෙයි මරල ගියත් මිනිස්සුන්ට ගානක් නෑ. මොකෝ මිනිස්සු උන් පස්සේ ගියාට අනිත් පැත්තෙන් හෙන ඉල්ලනවා.

    ReplyDelete
  8. නීතිය වල් වැදිලා නෙවෙයි, නීතියක් නෑ.
    උසාවි තියෙනවා, නඩු තියෙනවා, නීතීඥයෝ ඉන්නවා... අහිංසකයින්ගෙ තුට්ටු දෙකට කෙළනවා: එච්චරයි.

    උසාවියේ නඩුවක් ඇහෙන දවසක වෙන්න පුළුවන් එකම දේ - පඩයක් ඇරිය එකට හෝ ඈනුමක් ඇරිය එකට දඩයක් වදින එක විතරයි. නඩුව කොහොමත් කල් යනවා.

    අපේ ඉඩම් නඩුවක් තියෙනවා. ඒකෙ පළවෙනි වගඋත්තර කරු අපේ තාත්තගෙත් තාත්තා, උන්දෑ මැරුණෙ 1973 දි. අනිත් වගඋත්තර කාරයොත් මැරිලා, නඩුව මුලින්ම අහපු නඩුකාරයත් අදාල නීතිඥයොත් ඔක්කොම මැරිලා. නඩුව විතරක් පණපිටින්....තවමත් සිතාසි එනවා. ඒක බාරගන්න අපි තුන්වෙනි පරම්පරාවෙ.

    නීතියේ සමස්ථයම චොරවෙලා තියෙද්දි, ඔය වගේ සිදුවීම්වල ගනන්ගතයුතු දෙයක් නෑ.
    රාවයේ විමලෙටත් දිවයිනේ ජානකටත් අනිත් පත්තරවල ලියන්නන්ටත් කීයක් හරි හොයා ගන්න නිමිත්තක් හම්බවුනා.
    බ්ලොග් ලියන උඹලටත් කමෙන්ට් කරන අපටත් සතියක් තලුමරන්න චුවින්ගම් එකක් හම්බවුනා. ලබk සතියෙ තව එකක් හම්බවෙයි,...අතත් කටත් හැමදාම refresh... :(

    ReplyDelete
  9. ළඟදීම නීතිය, දේශපාලන බලය යන දෙකේ වැඩි වෙනසක් නැති වෙයි

    ReplyDelete
  10. ඕක මහ එවුන්ගේ ගෙවල්වල ඇති කොරන බල්ලෙක් වගේ රාජ්. උන් මොනවා කොලත් වලිගේ වනනවා. අපිව දැක්කම තමයි "බුහ්" ගාන්නේ මට නම් තියෙන්නේ ලොකු කලකිරීමක්.

    ReplyDelete
  11. කතාකරල වැඩක් නෑ රාජ් අය්යේ, අප්පිරියයි ;(

    ReplyDelete
  12. කතාව ඇත්ත..
    ඒඋනාට ඉහල ඉන්න අයට වදින කොට තමා සද්දේ එන්නේ..එතකල් ඔය හැමෝම 'අපේ මොකෝ' න්‍යායෙන් තමයි දවස ගෙවන්නේ.

    ReplyDelete
  13. ශ්‍රී ලංකාවේ නීති සහ අධිකරණ ක්‍රියාවලිය, බොහෝ රටවල නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ක්‍රමවේදය සමග බැලීමේදී වැඩි වෙනසක් නැත. ප්‍රශ්නය වන්නේ අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඇති ක්‍රමවේදයේ දුර්වල කමයි. නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පොලිසියේ ක්‍රියාකලාපය ගැන අමුතුවෙන් කතාකලයුතු නැත. අපේ රට දැන් තිබෙන තත්වයෙන් එකවරම ගොඩගැනීමට හැකියාවක් තිබේ යැයි සිතිය නොහැක. නමුත් ස්වාධීන පොලිස් කොමිසම, පරිපාලනසේවා, රාජ්‍යසේවා, අධිකරණ යන කොමිසම් ක්‍රියාත්මක වන්නේ නම් සහ රටේ බලය විහිදී ඇති තනතුරු වලට පුද්ගලයන් පත්කිරීමේ අයිතිය ජනාධිපතිවරයාගේ තනිමතය නොවී සර්වපාක්ෂික කමිටුවක් මගින් සිද්ධවන්නේ නම් යහපත් වෙනසක ආරම්භයක් බලාපොරොත්තුවිය හැකි බව මගේ අදහසයි. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමද අප ජීවත්වන අනාගතයක සිදුවේයැයි නොසිතියහැකි නමුත් සිදුවන්නේ නම් ඉතා අගනා වෙනසකි.

    ඔබත් මමත් ඇතුලුව රටේ බහුතර පුරවැසියන්ගේ සිතුම් පැතුම් සහ ක්‍රියාකලාපයන් පවතින විනාශකාරී ක්‍රමයම පෝෂණයකරන වැඩවසම් චින්තනයක ආකාරයෙන් සකස්වී ඇත. ලංකාව වැටී ඇති වලෙන් ගොඩගැනීමේදී කලයුතු මූලික දේ අතර, රටේ ප්‍රධාන ආයතන (අධිකරණය, පොලිසිය, මැතිවරණ කොමිසම වැනි ආයතන ) වලට ඔවුනගේ රාජකාරි කිරීමට අවැසි නිදහසක් ලබාදීම, එමගින් පවතින රජයක් යනු රටේ සියලුම දේ තමන්ට කැමති ආකාරයෙන් සකස් කරගන්නා බලයක් නොව, මෙම ආයතන මගින් සිදුවන සේවාවන් වඩා කාර්යක්ෂමව සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකසන බලයක් පමණක් බව ජනතාවට දැනෙන්නට සැලැස්වීම, පවතින රජයේ පුද්ගලයන් සහ එහි යම් යම් ක්‍රියාකාරකම් වලට විරුද්ධව තීන්දු ගතහැකි බලයක් මෙම ආයතන වලට ඇතිබව ජනතාවය ඒත්තු යාමට ඉඩදීම, සහ අවසානයේ සමාජයේ සිදුවන මෙම ක්‍රියාවලිය හමුවේ රටේ සාමාන්‍ය ජනතාව වැඩවසම් චින්තන රාමුවෙන් මිදී තමන් සතු බලය, අයිතීන් සේම වගකීම් ද වටහාගන්නා පිරිසක් බවට පත්වීමට සැලැස්වීමය.

    අවසානයේ කිවයුත්තේ මේ කියූ දෙවල් කලහැකිබව මම අවංකවම විශ්වාස කරන නමුත්, මා ලියූ දෙය නැවත කියවීමේදී මට මා ගැනම යම් බියක් ඇතිවන බවත්ය.

    ReplyDelete
  14. “Laws are like cobwebs, which may catch small flies, but let wasps and hornets break through.” නීතිය කීවාම මට මතක් උනේ මේ කතාව...බලාගෙන යන්කොට ඇත්ත වගේ.

    ReplyDelete
  15. එක විධායක් ලොක්කෙක් කලගෙඩි ලාම්පු සටන දවස් වල කිව්වේ සාහිත්‍යය මක්කටෙයි කියලා. ඒක නිසා දැං ඉන්න ලොක්කා කියන්නේ නීතිය මක්කටෙයි කියල නේ. මට කිසි දෙයක් මතක නෑ.

    ReplyDelete
  16. සැමට සමානව නීතිය ක්‍රියාත්මක නොවීම..

    මේක තමයි ,මට තියෙන ලොකුම ගැටලුව...නීතිය හැමෝටම සමානව නැහැ .. ලොක්කන්ට ඒක විදියකුත් පොඩ්ඩන්ට එක විදියකුත්.. කොහොමත් එයාලා නීතිය ඕනෑවටත් වාඩා හොදින් ක්‍රියාත්මක කරනවා පොඩි මනුස්සයන්ට.. එත් බලපුලුවන්කාරයෝ කරන ලොකු ලොකු වැරදි පෙනෙනවා අඩුයි .. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.
    පෝය දවසට සියලුම වයින් ස්ටෝර්ස් වහද්දි රජ්‍ය පාලකයන්ගේ සහෝදරයන්ගේ ඒවා එළිපිට ඇරලා ..ඒවා වල වැඩිහරියක් ඉන්නෙත් නීතිය රකින්නෝ...එහෙව් එකේ තව මොන කතාද ..

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ට් එකේ රජ්‍යපාලකයන් කියන එක දේශපාලකයන් ලෙස වෙනස් විය යුතුයි..

      Delete
  17. // තම සතුරාට එරෙහිව නීතිය ඉදිරියට ගොස් පාරට බැසීමට වඩා කීයක් හෝ වියදම් කර සතුරා ඉවත් කිරීමට පුරුදු වූ අයවලුන්ගේ ප්‍රමාණය එන්න එන්නම වැඩිවේ.

    මේ කතාව නම් සහතික ඇත්ත. ක්ෂණික නූඩ්ල්ස් වගේ සාර්ථකයිනේ. අවුලක් නෑ ලබන සතියෙ මීට වඩා ලොකු සිද්ධියක් වුණා ම මේක අමතක වෙලා යාවි! සුබ අනාගතයක්!

    ReplyDelete
  18. මට කියන්නට ඇත්තේ "හ්ම්.." කියයි

    ReplyDelete
  19. ලංකාවෙ නිතිය පොඩි එකාට විතරක් ක්‍රියාත්මක වෙන එකනෙ තියෙන අවුල... යකඩ විකුණගෙන කාපු... මිනිස්සු රට යවන්න සල්ලි අරන් වංචා කරපු සුධර්මන්ලා වගේ හොරු ඔය යස අගේට සමාජෙ වැජඹෙන්නෙ...

    මොකද බොලං ලගකදී අපේ පැත්තට නාවෙ ?

    ReplyDelete
  20. රාජ් ,,ලිපිය කියෙව්වා ..කියන්නට කාරනා නම් බොහොමයි. එහෙම වුනොත් තව පෝස්ටුවක් තරම් දේ ලියන්න වෙනවා. ඔබේ ලිවීම වැදගත්. කොමෙන්ට් නොකරත් කියවනවා .
    මොකද බොලං ලගකදී අපේ පැත්තට නාවෙ ?

    ReplyDelete
  21. ලංකාවේ කොහිද නීතියක්...

    ReplyDelete

  22. මම නම් දන්න දා ඉඳලා නීතිය වල් වැදිලා බං තිබ්බේ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  23. මේ ගැනනම් ඉතින් නෝ කමෙන්ට්ස් අයියේ..

    ReplyDelete
  24. අර අවුරුදු 60 අසල්වැසියගෙ සීන් එක නං පට්ටයි.
    නීතියෙන් මිනිස්සු අතුරුදන් කරවීම.

    ReplyDelete