Wednesday, April 17, 2013

අවුරුදු කේක්, අවුරුදු මැසේජ් සහ අවුරුදු කතා

(අවුරුද්ද ඉවර නමුත් කතන්දර ඉතුරුයි). අවුරුදු කේක් කොහොමද? ඉස්සරම, ඒ කියන්නෙ මංතුමා පුංචි එකා සංදියේ අපේ ගම් පලාත්වල කේක් තිබුනෙ නෑ එච්චරම. අපේ උපන්දිනයට උනත් අම්ම හැදුවෙ ඔය කැවුම්, වැලිතලප වගේ දෙයක් තමයි. බහුජාතික කේක් බෝවුනේ ඊට පස්සෙ කාලෙක. ඊ‍ට පස්සෙ කැවුම් කොකිස් දොදොල් වලට වඩා කේක් වලට හිමිවුනේ උසස් තැනක්. රුපියල් තිස්පහක් ‍විතර වෙච්ච කේක් ගෙඩියක් අරගෙන එන එකා කැවුම් කොකිස් මල්ලක් අරගෙන එන කෙනාට වැඩිය සැලකුම් ලැබුව. මේ වෙනකොට ආයෙත් වැඩි ඉල්ලුම තියෙන්නෙ කැවුම් කොකිස් වලට තමයි.

ඉස්සර අපේ ගෙදරට එන අවුරුදු කේක්-බිස්කට් වල ජාතකේ හොයන පුරුද්ද මටයි අක්කල දෙන්නටයි තිබුන. වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. ඔන්න කේක් එකක් අරගෙන ආව කියල හිතමු තාත්තගෙ පැත්තෙ ඥාතියෙක් වෙච්ච "සුදු ආච්චි". ඊලඟට ඒකෙ නිෂ්පාදකයා හොයාගන්නව. අපි හිතමු "මහබාගෙ" පැත්තෙ හදපු එකක් කියල, ඊට පස්සෙ අම්මට තාත්තට කියනව විස්තරේ.
"හා එහෙනං ඕක සුදු ආච්චිගෙ ලේලිගෙ ගමෙන් ගෙනාපු එකක්"

දැක්ක නේද ලින්ක් එක හොයාගන්න හැටි!

එක සැරයක් ඔන්න අපේ ගෙදරට ආව කේක් එකක්. ගෙනාවෙ සුදු ආච්චි කෙනෙක්. ඒ වෙලාවෙ අපේ ලොකු තාත්තත් ගෙදර. ආච්චි ගිය ගමන් මමයි අක්කල දෙන්නයි සුපුරුදු පරීක්ෂණය පටන් ගත්ත. මේ අතරෙ ලොකු තාත්තත් කේක් එකට ඔලුව දැම්ම.

"හහ් හහ් හහ් හා.... මේක අපේ ගෙදරින් සුදු ආච්චිලගෙ ගෙදරට දුන්න කේක්එක බං, ඕක අපේ ගෙදරට ගෙනාවෙ ලොකු අම්මලෑ ගෙදරිං"

හොඳම සිද්ධිය ඒක නෙවේ. කවුරුහරි කේක් එකක් ගෙනාපු ගමන් ඒක කපන්න යෝජනා කරන අපි, මේසැරෙත් ඒ යෝජනාව අපේ අම්මට ගෙනාව. අම්මගෙ උත්තරේ උනේ,

"බෑ ඒක ලොකු තාත්තලගෙ ගෙදර ගෙනියන්න තියාගනිමු" කියන එකයි. සම්පූර්ණ වටයක් ගෙවන්න තිබුනු අවස්තාව කේක් එකට මිස් වුනේ නූලෙන්.

හුඟක් විට 'කේක් ගෙනාපු තැන් වලට කේක්, කැවිලි ගෙනා තැන් වලට කැවිලි' වගේ රිටන් එකක් තමයි අපේ අම්මලගෙන් ලැබුනෙ. මේ වෙද්දි නං කේක්-කැවිලි වලින් මිදිල සීනි, කිරිපිටි වගේ අත්‍යාවශ දේවල් අවුරුද්දට ගෙනියන්නෙ.

අපේ අල්ලපු ගෙදර හිටිය චූටි මාම කියල කෙනෙක්. භීෂණ කාලෙ මෑන් මැරුන. ඔන්න දවසක් අවුරුද්ද දවසක චූටි මාම දෙකක් දාගෙන නිදි. මේ වෙලාවෙ ගෙදරට කවුදෝ ආව. චූටි මාමගෙ නංගි, අයියට කතා කලා.
"අයියේ කවුද ඇවිලිල?"
"මොකුත් ගෙනල්ලද?"
"පේන්න නෑ"
"එහෙනං යන්න කියපං"

කේක් වගේම වටේ යන අනිත් ජාතිය තමයි අවුරුදු එස්එම්එස්. මටත් අවුරුදු එස්එම්එස් කීපයක්ම ආව. නෝනට ආපු ලස්සන එස්එම්එස් එකක් තෝරගෙන ඒක මට එවාගෙන ඒක තමයි මම අර උදවියට යැව්වෙ. අවුරුදු තෑගි වගේම මේවත් ඔහේ යනව එනව විතරයි. එහෙම බැලුවම "OYATATH PAWLE SAMATATH KIRIYEN PENIYEN ITHIRENA SUBA ALUTH AWRUDDAK WEWA" වගේ අවංක මැසේජ් හොඳයි ඔක්කෝටම වැඩිය. (මේක දැක්කම මතක් වෙන්නෙ අර කැපිටල් ඇනෝ අංකල්). එක සැරයක් මම මට ආපු මේවගේ මැසේජ් එකක් එක එකාට ෆෝවඩ් කලා. (හරියට මහන්සි වෙලා ටයිප් කලා වගේ).

මගේ යාලුවෙක් අවුරුද්ද නිමිත්තෙන් මැසේජ් එකක් හැදුව.(මටත් එව්ව දැන් මතක නෑ). මැසේජ් එකේ පේලි වල මුල් අකුරු සෙට් කලාම එන්නෙ උගේ නම. ඔන්න මැසේජ් එක යැව්ව හතර අතේ. දවල් වෙනකොට මෙන්න බොලේ ඒ මැසේජ් එක යාලුවට ආපහු එනව. මොකා නමුත් නොදන්නා කමට එවල.

මේ අවුරුද්ද දවසේ කිරිබත් එහෙම කාල මංතුමා බ්ලොග් එකේ සුභපැතුම් පෝස්ටුව ටයිප් කරනව.
"ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමාටත්.........." මේ වෙලාවෙ නෝන ලඟට ආව,
(කට පොඩ්ඩක් ඇල කරල)"ජනාධිපත්තුමාටත් සුභපතනව වගේ"
"දන්න කියන මනුස්සයනේ, අනෙක අවුරුද්දට ඔය තරහමරහ තියාගන්න හොඳ නෑනේ..."
ටික වෙලාවකින් මැසේජ් එකක් ආව ජනාධිපතිතුමාගෙන්.

Oba Samata Suba Nawa Vasarak Weva!
Ungal Anaivarukkum Puththandu Nalvalthukkal!
Wish You All a Very Happy New Year!
-President

"මෙන්න බලන්න. ජනාධිපතිතුමා මගේ බ්ලොග්එක කියවල. කමෙන්ට් නොදා ඒකයි මේ මැසේජ් එකක්ම එවුවෙ! "

51 comments:

  1. හුහ් ......ඊරිසියා කාරයා කොපි කරා නේද මාව? කොපි කරා නේද? මමත් දැම්මා සුබ පැතුමක් මගේ බ්ලොග් එකේ. හැබැයි එතුමාගේ නම දාන්න අමතා වුනා. මෙන්න බොලේ එතුමා මටත් එවලා තිබුනා සුබ පැතුමක්. එතුමා දන්නවනේ මම පරණ සොල්දාදුවෙක් කියලා. අනික එතුමා තවමත් මගේ 'කොමාන්ඩර් ඉන් චීෆ්' නේ. කාටද ආඩම්බර.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කොහේද සුභපැතුමක් තියෙන්නෙ?

      Delete
  2. අර රවුමෙ යන කතාව නං හරි.. අපෙ අම්ම හදන මුං ඇට කැවුම් අමුතුම හැඩයක.. එවුව වටකුරුයි.. ඔන්න අපි යැවුව එවුව අපිටම එනකොට ලෙසියි දැනගන්න. අපි කරන්නෙ ආපු ගමන් අරින එකයි..එතකොට මොනවාහරි විශෙශ දෙයක් තිබ්බොත් එතනම වගකියන්නයි හදිසිය.. එක දවසක් අයියෝ මේ අපේම කැවුංනෙ.. කියල කෑගහල අර ගෙනා මනුස්සයත් ඉන්නකොටම.. අයියෝ අම්මගෙන හොඳට අහගත්ත.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්... ඔය තියෙන්නෙ වටේ යන කතා.

      Delete
  3. මගේ ෆෝන් එකට නම් හරිම නිදහස් මේ අවුරුද්ද, SMS එකක් නැත්නම් දෙකක් විතරයි ආවේ

    ReplyDelete
  4. ජනාධිපති උබෙ බ්ලොග බැලුවනම්. අද අපිට බලන්න මේ බ්ලොග නැහැ මචං.

    ජය !

    ReplyDelete
  5. "අයියේ කවුද ඇවිල්ල?"
    "මොකුත් ගෙනල්ලද?"
    "පේන්න නෑ"
    "එහෙනං යන්න කියපං" නියමයි.

    කැවිලි වලට වැඩිය කේක් බිස්කට් වගේ ඒවනං වටේ යනව ඕන හැටියට.

    ReplyDelete
    Replies
    1. ඔව්. ස්තුතියි අදහසට

      Delete
  6. ආයෙත් කැවුම් කොකිස් යනවා කිව්වට. ඒවත් කඩෙන් ගෙනාපුවා වෙන්ට ඕන. ගමේ නම් තාමත් යන්නේ පෙට්ටි කෙක් ගෙඩියි. බිස්කට් 10-15 ක් තියෙන කාඩ්බෝඩ් පෙට්ටියි, කෝඩියල් බෝතල් වගේ ඒවා තමයි. මම නම් මේකෙන් ළොකු කතාවක් දකිනවා. කුකුළු මසුත් එකසිය ගානට විකිනෙනවා. තාමත් ළොකු කෑමක් ඒක.

    ReplyDelete
  7. තෑග්ගේන් තෑග්ග උතුම් තෑග්ගයි කියලා උගන්නන්නේ ඕකටනේ.....

    ReplyDelete
    Replies
    1. මේක තෑග්ගෙන් තෑග්ගෙන් තෑග්ගෙන්....තෑග්ග.

      Delete
  8. //හුඟක් විට 'කේක් ගෙනාපු තැන් වලට කේක්, කැවිලි ගෙනා තැන් වලට කැවිලි' වගේ රිටන් එකක් තමයි අපේ අම්මලගෙන් ලැබුනෙ//

    ඒක හරියට මඟුල් ගෙදරදී බිව්වොත් දෙන ගාන දෙදාහයි, නොබිව්වොත් දෙන ගාන දාහයි වගේ තියරියක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එවුව එහෙම තමයි.

      Delete
  9. අවුරුද්දට පුස් කැවුම් පුස් කොකිස් උස්සන් එන නෑදැයින්ට වඩා සිරාවටම කිරිපිටි පැකට් එකක්, සීනි කිලෝ එකක් උස්සන් එන නෑදැයින්ට තැනක් තියනවා තමයි.

    ReplyDelete
    Replies
    1. ජීවන බරත් එක්ක ඒක නරක නෑ.

      Delete
  10. උයාට විතරක් නෙමේ අපිටත් එව්වා...

    ReplyDelete
  11. +++++! "රුපියල් තිස්පහක් ‍විතර වෙච්ච කේක් ගෙඩියක් අරගෙන එන එකා කැවුම් කොකිස් මල්ලක් අරගෙන එන කෙනාට වැඩිය සැලකුම් ලැබුව".හොඳ නිරීක්ෂණයක්. ඇත්තටම අපට එහෙම උනේ ඇයි රාජ්?

    ReplyDelete
    Replies
    1. ඉල්ලුමට සැපයීම! වෙන දෙයක් නෑ. කේක් අඩු දවස්වල කේක් වලට ඉල්ලුම වැඩියි. අද නගරයේ කැවුමක් රුපියල් 15-25 වෙනව.

      Delete
  12. අපේ එකෙක් ඌට ආපු අලුත් අවුරුදු මැසේජ් එකක් හැම එකාටම ෆෝවඩ් කළා. ඌට මැසේජ් එක එවන්න තිබුණු හදිසියට ඌට මැසේජ් එක එව්ව එකාගේ නමත් ඩිලීට් කරන්න අමතක වෙලා. අනික මම උදේ යවපු මැසේජ් එකම අපේ එකෙක් මට අනිත් පැත්තට හවස එවනවා :D

    ReplyDelete
    Replies
    1. යටින් නම ගැහුවම ඔය කේස්එක වෙනව.

      Delete
  13. අපේ ගෙදරටත් ආපු කැවිලි ගොඩක් දුර ගියා.මාමලාගේ ගෙදරට පාර්සලයයි තව නෑදැයෝ දෙතුන් දෙනෙක්ගේ ගෙවල් වලටත් ගියා.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං. හොඳ හිත පෙන්නන්නනේ

      Delete
  14. ජනාධිපති තුමා මගේ නම්බරෙත් හොයං මැසේජ් එකක් එවුවා..
    හරි හොද මනුසසයා අප්පා...

    ReplyDelete
    Replies
    1. අපේ සල්ලි වලින් අපට සුභපතනව.

      Delete
  15. කේක් එක චෙක් එක වගේ වෙනවා. :D

    SMS යවන්නෙත් ඉතින් අර ක්‍රමේට තමයි. මේ අවුරුද්දේ තමයි අඩුවෙන්ම එස් එම් එස් ආවේ.

    ReplyDelete
  16. අවුරුද්දයි කේකුයි ගැන වැඩිය කතා කරන්න බෑ බං.. අපිත් කීයක් හරි වැඩිපුර හොයාගන්නේ මේ කාලෙටනේ... හි හි....

    ReplyDelete
    Replies
    1. හා හිරූට වාසි ඇති!

      Delete
  17. කේක් එකත් පුස් කනකල්ම වටේ යනවලු නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. අන්තිමට කාටවත් වැඩක් නෑ.

      Delete
  18. අපරාදේ ජනාධිපති තුමා පිටරට ඉන්න ලාංකිකයන්ට සුභ පතන්නේ නෑනේ.. ඇයි අපිට අවුරුදු නෑ කියලා හිතනවද දන්නෙ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. එතුමගෙ පැතුම් ඕනෙමනම් ලංකාවෙ සිම් එකක් එදාට විතරක් දාගත්තනම් හරි.

      Delete
    2. අන්න හරි කෙන්ජි.

      Delete
  19. අපි ලංකාවට ටික කාලෙකට ගියත් ජනාධිපතිතුමා ෆෝන් නොම්මරේ හොයාගන්නවනේ අවුරුදු සුබ පැතුම් එවන්ට.:D

    හපොයි මේ පාර ලංකාවෙන් ආපු අවුරුදු සුබ පැතුම්. ගාථා, සිංදු කෑලි. ඒවා කියවලා ඉවර කරන්ට දවසක් විතර ගියා. මම නම් ආපහු ඇරියේ wish u the same කියලා විතරමයි. :)

    ReplyDelete
    Replies
    1. wish u the same කියන්නෙ පරෙස්සමින්.

      Delete
  20. කාලෙකට ඉස්සෙල්ල ලගම නෑදෑ ගෙදරකට අපි ගෙනිච්ච රට බිස්කට් ටින් එක ඊලග අවුරුද්දෙ එයාල අපේ ගෙදරට ගෙනත්.බැලුවම දිනත් පැනල.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ අවුරුද්දක්?

      Delete
  21. ජනාදිපති තුමාට මාව මතක් උනේ ටිකක් විතර දවල් වෙලා අප්පා ........ මොනව උනත් මිනිහ හිත හොඳ බුවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... මාව මතක් උනෙත් එහෙමයි.

      Delete
  22. ගෙදරට එන හොඳ කෑම ගෙදර නවත්තගන්න අපි ඒ දවස් වල පොඩි පොඩි උපක්‍රම අනුගමනය කලා... දවටනය හරි පෙට්ටිය හරි පොඩ්ඩක් ඉරලා තලලා දානවා. "ආනේ මේක මෙතක ඉරිලා, මේක ගෙනියන්න බෑ වෙන තැනකට කියලා, ටක් ගාල එක සම්පූර්ණයෙන්ම අරිනවා". තව වෙලාවකට මම කැමැත්තෙන්ම පීල්ලට බෙල්ල තියනවා... කට්ටිය එකතු වෙලා පැකට් එක කඩලා, ඊට පස්සෙ පවුලේ හොඳ ළමයා (නංගී) ගිහින් අම්මට වාර්තා කරනවා "අම්මේ අන්න අයියා අර කේක් එක කඩලා කාලා" කියලා.

    ReplyDelete
  23. ඒ වුනාට රාජ් කවදා හරි අපිට රවුම යන කෑමක් හරි, SMS එකක් හරිවත් යවාගන්න බැරි වෙන තරම්ම වඩ අධික කාලයක් ඒවි. එදාට අපිට ඒවා මිස් වේවි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බලමු. එච්චර වැඩ අධික වෙලා ජීවත් වෙන්නෙ මොකටද බං

      Delete
    2. මොකද උඹ එහෙම කියන්නෙ,එන්න එන්න වැඩ අඩුවෙන්න ඕනැ නේද,
      පොඩ්ඩක් පැහැදිලි කරපන් තරහ නැතුව.

      Delete
    3. නෑ නෑ මේකයි. අපේ පැරැන්නන්ට වැඩිය අපි වැඩ කරනව.(වැඩ කරන පැය ගනන සාපේක්ෂව වැඩියි). මේ තියන පරිභෝජනවාදී ක්‍රමය එක්ක වැඩ කලයුතු ප්‍රමාණය වැඩි වෙනව. ඒ වැඩිවීම තාක්ෂණික දියුණුව නිසා සිදුවෙන අඩුවීම තුලනය කරන්නෙ නෑ. පොඩ්ඩක් ඉන්නකෝ ඔය ගැන ටිකක් දිග පෝස්ටුවක් එනව.

      Delete